මාවනැල්ල ශ්‍රී ලනිප සංවිධායක ගිනි අවි 3ක් සමඟ අල්ලයි

  👤  3418 readers have read this article !
By mawbima 2018-10-19

කොළඹ _ එම්.සී. පෙරේරා, මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක, සබරගමු පළාත් සභාවේ හිටපු සභානායක මොහොමඩ් ඉමිතියාස් කාදර් මහතාගේ කෑගල්ල අෑෂ්ලි පීරිස් මාවතේ පිහිටි නිවෙසෙහි සඟවා තිබූ බලපත්‍ර රහිත විවිධ වර්ගයේ ගිනි අවි තුනක් සමඟ සංවිධායකවරයා ඊයේ (18දා) රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ගිනි අවි අතර ටී පනස් හය ගිනි අවියක්, ජීව උණ්ඩ තිහක්, එම්.පී. පහ කේ. වර්ගයේ ගිනි අවියක්, නයින් එම්.එම්. වර්ගයේ ජීව උණ්ඩ හැත්තෑපහක් නොම්මර ‍ෙදාළහ වර්ගයේ පතරොම් තුවක්කුවක් හා එම්.පී. වර්ගයේ ජීව උණ්ඩ දාහතක් වූ බව පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජගිරිය බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය මහතාට ලැබුණු තොරතුරක් අනුව මාවනැල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා එක්ව මෙම වැටලීම කර තිබිණි.

එම්.පී. පහ වර්ගයේ කෙටි දුර වෙඩි තැබිය හැකි ගිනි අවිය ඇඳ යට සඟවා තිබියදීද අනෙක් ගිනි අවි දෙක හා ජීව උණ්ඩ අල්මාරිවලද සඟවා තිබියදී සොයා ගෙන තිබේ.
එම්.පී. පහ වර්ගයේ ගිනි අවිය ඩුබායි රටින් මිතුරකුට රුපියල් ලක්ෂ හතරක් ගෙවා මිලදී ගත් බවත් අනෙක් ගිනි අවි දෙක ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ හතරක් ගෙවා මිලදී ගත් බවත් සැකකාර සංවිධායකවරයා ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.

සොයා ගත් ගිනි අවි අතර ඇති කෙටි දුර වෙඩි තැබිය හැකි එම්.පී. පහ කේ. වර්ගයේ ගිනි අවිය ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදා ගන්නා නවීනතම ගිනි අවියකි. එවැනි ගිනි අවි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහාද ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

මෙම ගිනි අවි විනෝදාංශයක් ලෙස රැස්කර ළඟ තබාගත් බවත් මීට වසර දෙකකට පමණ පෙර ගෙන ආ බවත් සැකකාර සංවිධායකවරයා පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මෙම ගිනි අවි අපරාධ සඳහා යොදා ගෙන ඇද්ද යන්න පිළිබඳව සොයා බැලීමට එම ගිනි අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඒවා පරීක්ෂා කරන බවද එම ජේ‍යෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා රාජගිරිය බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය, පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.ටී.බී. රාජනායක, උප පොලිස් පරීක්ෂක ඒ.ඒ. කුමාර මහත්වරු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම කළහ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon