මැතිවරණයකින් තොරව පත් කළ ප්‍රථම මන්ත්‍රි ජෝන් අමරතුංග ඇමැතිගේ පාර්ලිමේන්තු දිවියට අදට වසර හතළිහක් සපිරේ

  👤  1608 readers have read this article !
By mawbima 2018-10-19

උදයන්ති මුණසිංහ

මෙරට දේශපාලන ඉතිහාසයේ මැතිවරණයකින් තොරව පත් කරන ලද ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වන ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු දිවියට අදට (19දා) වසර හතළිහක් සපිරීම නිමිත්තෙන්, විශේෂ උත්සව දෙකක් සංවිධානය කොට තිබේ.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 21 වැනිදා විශේෂ උත්සවයක් වත්තල ජනතාව සංවිධානය කර ඇති අතර එළැඹෙන 28 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ප්‍රධාන උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සූදානම් කොට තිබේ.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජය යටතේ තැපැල් හා විදුලි සන්දේශ අමාත්‍ය ධුරයෙහි කටයුතු කළ ෂෙල්ටන් ජයසිංහ මහතාගේ අභාවයෙන් පසුව පක්ෂය විසින් ගන්නා ලද තීරණයකට අනුව ජෝන් අමරතුංග මහතා මැතිවරණයකින් තොරව වත්තල ආසනයේ මන්ත්‍රිවරයා ලෙස 1978 ඔක්තෝබර් මස 19දා පත්කෙරුණි.

කෝප් කමිටු සභාපති, මුදල් රාජ්‍ය අමාත්‍ය, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, පළාත් සභා රාජ්‍ය අමාත්‍ය, ස්වදේශ කටයුතු අමාත්‍ය, වැඩබලන ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍ය, වැඩබලන ආරක්ෂක අමාත්‍ය, ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍ය, අභ්‍යන්තර කටයුතු හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය, වැඩබලන විපක්ෂ නායක සහ ඉඩම් අමාත්‍ය ලෙස තනතුරු ගණනාවක් හෙබ වූ ජෝන් අමරතුංග මහතා මේ වන විට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ දකුණු ආසියානු ලෝක සංචාරක සංවිධානයේ උප සභාපතිවරයා ලෙසත්, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික, එජාප වෘත්තීයවේදීන්ගේ සංගමය හා එජාප ජාත්‍යන්තර සාමාජිකත්ව කටයුතු පිළිබඳ සභාපතිවරයා ලෙසත් ඔහු කටයුතු කරයි.

අමරතුංග මහතා කතෝලික බැතිමතකු වුවත් සෙසු ආගම්වලටද මුල්තැන දෙමින්, ජෝන් අමරතුංග පදනම මඟින් වත්තල මැතිවරණ කොට්ඨාසයේ තරුණ තරුණියන්ට රැකියා දෙමින් වත්තල මැතිවරණ කොට්ඨාසයට සහ රටට සේවාවන් රැසක් කොට ඇති බව බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය සහ ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෝරන්ස් මාදිවෙල මහතා සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon