මනම්පිටියේ වැලි රට වටේම යන හැටි

  👤  2762 readers have read this article !
By mawbima 2018-10-21

මනම්පිටිය වැලිවලට ඇත්තේ වැඩි ඉල්ලුමකි. එය ගලායන ජලයෙන් එන ස්වාභාවික වැල්ලකි. බාල්දි මඟින් ගන්නා විට දෙවරක්ම එම වැල්ල සේදේ. එය ඉදිකිරීම් කටයුතුවලට සුදුසුම වැල්ල ලෙස ප්‍රකටය. ගල්, බොරලු, රොන් මඩ නැති මනම්පිටිය වැල්ලට එනිසා ඇත්තේ වැඩි ඉල්ලුමකි.

මනම්පිටිය වැලිවලට ඇති ඉල්ලුම නිසාම මීට පෙර ට්‍රැක්ටර් යොදාගෙන ගඟේ ඉවුරටද හානි වන සේ වැලි ගොඩදැමීම සිදුවිය. මේ නිසාම වරින්වර මනම්පිටිය ප්‍රදේශයේ වැලි ගොඩ දැමීමට බාධා ඇති විය.
මහවැලි ගඟෙන් වැලි ගොඩ දාන්නේ මනම්පිටියේදී පමණක් නොවේ. මනම්පිටියේ ඇති වැල්ල කොටස් තුනකි. ප්‍රමිති තුනකි. හීනිවැල්ල, මැදවැල්ල, කැටවැල්ල යනුවෙන් මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයේ කොටස් තුනකින් වැලි තෝරාගත හැකිය.

මේ නිසාම ලංකාව පුරාම මනම්පිටිය වැල්ලට ඇත්තේ ලොකු ඉල්ලුමකි. එහෙයින් වැලි පටවන විට විවිධ ගැටලුද මතු වෙයි. මේ නිසාම වැලි පැටවීමේ නියුතු ටිපර් රථ සංගම් දෙකක් අතර ගැටලුවක්ද මතුවී ආවේය. ඒ නිසා විවිධ ප්‍රශ්න මතුවිය. මේ ක්‍රමය වෙනුවෙන් සාධාරණ සහ ක්‍රමවත් වැඩපිළිවෙළක් මනම්පිටිය වැලි වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දුන්නේය.
මේ වන විට පොළොන්නරුව නගරයේ ශීඝ්‍ර සංවර්ධනයක් සිදුවෙමින් පවතියි. මේ නිසාම පොළොන්නරුවට මෙන්ම ලංකාවේ සෙසු ප්‍රදේශවලද වැලි අවශ්‍යතාව වැඩි විය. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කළේ පරිසරයට හානි නොවන ලෙස වැලි ගැනීමේ ක්‍රමවේදයක් සකසන ලෙසය.

මේතාක් සිදුවූ ගඟට ට්‍රැක්ටර් දමා වැලි ගොඩදැමීම වෙනුවට පරණ වැලි තොටුපොළ ක්‍රමය ඇතිවූයේ ඉන්පසුවය. එම ක්‍රමය තුළින් වැලි ගොඩ දැමීම නිසි ක්‍රමයකට සකස් කිරීමට පැවැරුණේ ට්.ඉ.ර්.ඕ. තාක්ෂණික සේවා ආයතනය වෙතය. සකස් වූ ක්‍රමයට අනුව නිදහස් ටිපර් රථ සංගමයේ යෝජනාද විමසා වැලි ගොඩ දැමීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසුණි.

ඒ අනුව වැලි ගොඩ දැමීමට කම්කරුවන් යෙදවීම, ඒ වෙනුවෙන් ගෙවීම් කිරීම, බෝට්ටු හා අදාළ උපකරණ ලබාදීම නිදහස් ටිපර් රථ සංගමය මඟින් කරන ලදී.

දිනකට වැලි කියුබ් 6ක් අනිවාර්යෙන්ම ගොඩදැමිය යුතුය. මෙහිදී වැලි තොටුපොළවල් ලබාදීම හරිත ක්‍රමයට සිදුවීම ප්‍රමාණාත්මක ගොඩදැමීම, පරිසරය හානි සිදුවේද කියා නිරීක්ෂණය කිරීම ට්.ඉ.ර්.ඕ. තාක්ෂණික සේවා අංශය මඟින් සිදුකරයි.

දිනකට වැලි කියුබ් 6ක් ගොඩදමන විට ඉන් කියුබ් 3ක් ටිපර් රථ සංගම්වලටත් ඉතිරි කියුබ් ට්.ඉ.ර්.ඕ. තාක්ෂණික සේවා ආයතනය වෙතත් හිමි වෙයි. එනම් 50ට 50 ක්‍රමයට වැලි ගොඩදැමීම සිදුවෙයි. තමන්ට ලැබෙන වැලි කියුබ් තුනට අදාළ ගෙවීම් එනම් එක් කියුබ් එකකට රුපියල් 4100 බැගින් ගෙවා ටිපර් රථ සංගමය වැලි ටික ලබා ගනී. ඉන්පසු තාක්ෂණික ආයතනය වෙත ඇති කියුබ් තුනද කියුබ් 1ක් රුපියල් 4100 බැගින් වූ මිලකට විකිණීම කරයි.

මේ හේතුවෙන් දිනපතාම හෝ දිනක් හැර දිනක් මනම්පිටිය වැලි ටිපර් රථවලට ලබාදීම සිදු කරයි.

ටිපර් රථ ප්‍රමාණ වැඩි නම් සතියකට දෙවරක් හෝ ටිපර් රථ වෙනුවෙන් වැලි සැපැයීමට ට්.ඉ.ර්.ඕ. තාක්ෂණික සේවා ආයතනය කටයුතු කරයි.

පොළොන්නරුවේ සංවර්ධන කටයුතුවලට වැලි ලබාදීමේදී භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ට්.ඉ.ර්.ඕ. තාක්ෂණික සේවා ආයතනය මැදිහත්ව ඉතා අඩු මිලට වැලි ලබාදීම සිදුකරයි. මේ කාර්යයේදී නිදහස් ටිපර් රථ සංගමයද ඉටු කරන්නේ සමාජ සේවා සත්කාර ක්‍රියාවකි.

මනම්පිටිය වැලි නිසා ඇති වී තිබෙන විරසකය මේ වැඩපිළිවෙළත් සමඟ සමනය වී තිබේ. වැලි ගොඩ දැමීමේදී නිදහස් ටිපර් රථ සංගමය දිනකට වැලි කියුබ් 100ක් ගොඩ දැම්මොත් ඔවුන් ඉන් ලබා ගන්නේ කියුබ් 50ක ප්‍රමාණයකි. ඉතිරි ප්‍රමාණය ට්.ඉ.ර්.ඕ. තාක්ෂණික සේවා ආයතනය මඟින් සෙසු ලොරි රථවලට ලබාදෙයි. කෙසේ හෝ මනම්පිටියෙන් වැලි කියුබ් 3ක ටිපර් රථයක් පැටවීමට යන්නේ රුපියල් 12,300ක මුදලකි. එසේම තිබෙන සෑම ලොරියකටම වැලි ලබාදීමටද භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ට්.ඉ.ර්.ඕ. තාක්ෂණික සේවා ආයතනය කටයුතු කරයි.

නිදහස් ටිපර් රථ සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරි පිරිස සෙසු ටිපර් රථ සංගම්වලටද ආරාධනා කරන්නේ මේ වැඩපිළිවෙළ හා එක්ව වැඩ කිරීමට පැමිණෙන ලෙසය.

මහවැලි ගඟේ ඉවුර දෙපසම මනම්පිටියට වෙන්නට වැලි තොටුපොළවල් 205ක් පමණ තිබේ. මේවායින් කිසිදු පරිසර හානියක් සිදුවීමට බැරිය. එම තොටුපොළනිරීක්ෂණය කිරීමට වෙනම නිලධාරීහු පිරිසක්ද සිටිති. එක් තොටුපොළක සේවකයෝ 4-5ක් සේවය කරති. මීට අමතරව ටිපර් රථ රියැදුරන්, බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවන්, තේ කඩ හිමියන්, ලොරි රථ හිමිකරුවන්, ට්.ඉ.ර්.ඕ. තාක්ෂණ සේවා අංශයේ සේවකයන් ඇතුළුව මනම්පිටිය වැලි කර්මාන්තයෙන් 2000-3000ක් පමණ ජීවත් වෙති.

වැලිගොඩ දැමීමේදී එම සේවකයන්ට ගෙවීම ලැබුණේ දිනකට රුපියල් 2000කි. එම වැටුපද දිනපතා ගෙව්වේ නැත. එම මුදල් ලබාදුන්නේ සතිපතාය. මේ හේතුවෙන් මනම්පිටිය ප්‍රදේශයේ වැලි ගොඩදැමීමට සේවකයන් හිඟ විය. කන්තලේ - මහියංගණය - ත්‍රිකුණාමලය ප්‍රදේශවල වැලි ගොඩදැමීමේදී වැඩිපුර ගෙවන නිසා සේවකයෝ ඒ ප්‍රදේශවලට ගියහ. මේ හේතුවෙන් ටිපර් රථ හිමියෝ දැඩි දුෂ්කරතාවකට පත්වූහ.

වැලි ගොඩ දැමීමේදී නිසි ක්‍රමවේදයක් ගැන සාකච්ඡාවකට බඳුන් වන්නේ එවිටය. එහිදී ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ප්‍රියන්ත මහතා සමඟ සාකච්ඡා කොට අදාළ යෝජනා ටිපර් රථ සංගමය මඟින් ලබාදී තිබිණි. එම යෝජනාවට අනුව 50ට 50 වැලි ගොඩ දැමීමේ ක්‍රමය ආරම්භ විය. මෙමඟින් ටිපර් රථ සංගමයට හිමි කියුබ් 3 සඳහා රුපියල් 12,300ක මුදලක් ආයතනයේ ගිණුමට දමා එම මුදලේ රිසිට් පත ගෙන ගොස් පෙන්වීමෙන් අනතුරුව වැලි ලබාදීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ට්.ඉ.ර්.ඕ. තාක්ෂණ සේවා ආයතනය කටයුතු කර තිබිණි. මේ ක්‍රමය ඇති කිරීමට පෙර දිනකට මනම්පිටියෙන් ගොඩදැම්මේ වැලි කියුබ් 600ක් පමණය.

නමුත් නව ක්‍රමය හරහා දිනකට වැලි කියුබ් 1500 දක්වා වැඩි විය. මේ වැලි කියුබ් 1500න් 750ක් නිදහස් ටිපර් රථ සංගමයේ ටිපර් රථවලට ලබා දෙන අතර ඉතිරි වැලි කියුබ් 750 ටෝකන් ක්‍රමය යටතේ බෙදා දුන්නේය.
මේ ක්‍රමය යටතේද සැපයුමට වඩා ඉල්ලුම වැඩි විය. එහෙයින් ටිපර් රථ සංගමයේ රථවලටද වැලි ප්‍රමාණවත් නොවීය. නිදහස් ටිපර් රථ සංගමය එම ලොරි රථවලටද සහනයක් ක්‍රියාත්මක කර ඇත. ඒ දිනකට ටිපර් රථ දහසක් සඳහා ප්‍රමුඛතාවක් ලබා ගනිමිනි. මේ සඳහාද ටෝකන් ක්‍රමය යටතේ වැලි ලබාදීම සිදු වෙයි. මේ හේතුවෙන් නිදහස් ටිපර් රථ සංගමයේ සාමාජිකත්වය ලබා ඇති වැලි නොපැටවෙන ටිපර් රථවලටද සහනයක් විය. මෙම ක්‍රමය යටතේ සියලුම ටිපර් රථ සඳහා වැලි පැටවීම ක්‍රමවත් ලෙස සිදු වෙයි.

දැනට පොළොන්නරුවේ ඉදිවෙන වකුගඩු රෝහල හා අනෙකුත් සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් ප්‍රදේශයේ සංවර්ධනයත් අත්‍යවශ්‍ය ලෙස සලකා අඩු මිලකට රුපියල් 16,500ක පමණ මුදලකට වැලි ලබා දීමටද නිදහස් ටිපර් රථ සංගමය කටයුතු කරයි. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉල්ලීමකට අනුවය.

මීට පෙර මනම්පිටිය වැලි සම්බන්ධව තිබූ ගැටලු රැසක් මේ වන විට නිරාකරණය වී තිබේ. මහවැලි ගඟේ වැලි නිෂ්පාදනය මීට පෙර සිදුවූයේ තුන්වැනි පාර්ශ්වයේ මැදිහත් වීමත් සමඟය. එදා සිටි මංකඩලාභීන් අතින් අයථා වැඩ සිදුවී තිබිණි. එම අයථා වැඩ නතර කිරීමට ට්.ඉ.ර්.ඕ. තාක්ෂණ සේවා ආයතනයට පැවරුණේ 2008 වසරේ සිටය. එදා සෞඛ්‍ය ඇමැතිව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා වැලි මාෆියාව බිඳ දැමීමට මුල පිරුවේය. එම ක්‍රියාදාමය හේතුවෙන් වසරකට වැලි නිෂ්පාදනය කියුබ් ලක්ෂ 3ක් දක්වා වැඩිවිය. එම වැඩපිළිවෙළද ක්‍රමවත් ලෙස පවත්වාගෙන ගියේය. ඉන්පසු වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැදිහත්ව වැලි කර්මාන්තයේ යෙදෙන කම්කරුවා ආරක්ෂා කරන වැඩ පිළිවෙළක්ද ගෙන ආවේය. ඒ වැලි කම්කරුවාද සේවක අර්ථසාධක අරමුදලට දායක කර ගනිමින් සාධාරණ වැටුපක්ද ලබා දෙමිනි.

ඒ වැලි කියුබ් එකකට රුපියල් 1500 බැගිනි. නමුත් සතියෙන් සතිය මුදල් ගෙවන ක්‍රමය නිසා සේවකයන් නවත්වා ගැනීම දුෂ්කර විය. ඉන් පසු 2015 වෙද්දී ට්.ඉ.ර්.ඕ. තාක්ෂණ සේවා ආයතනයට කියුබ් 60,000ක පමණ වැලි නිෂ්පාදනය අඩු විය. 2015 වන විට මනම්පිටියේ නිෂ්පාදිත වැලි ප්‍රමාණය වූයේ කියුබ් 114,000කි. 2017 දී එය 119,000 දක්වා වැඩිවිය. නමුත් 2018 සැප්තැම්බර් වන විට වැලි සම්බන්ධයෙන් කළ සියලු වෙනස්කම්ද සමඟ කියුබ් 127,000 දක්වා වැඩි කරගත හැකි විය. සමාන්‍යයෙන් ලක්ෂ 2-3ක ප්‍රමාණයක නිෂ්පාදනයක් තිබූ මනම්පිටිය වැලි නිෂ්පාදනය එම ඉලක්ක කරා ගමන් කරවීමට නිදහස් ටිපර් රථ සංගමය කටයුතු කරගෙන යයි.

වැලි නිෂ්පාදනයේදී තිබූ වැරැදි නිවැරැදි කර ගනිමින් මනම්පිටිය වැලි කර්මාන්තය දැන් නව මඟක් ගෙන තිබේ. දිස්ත්‍රික්කයේ ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හය වන මැදිරිගිරිය, තමන්කඩුව, බකමූණ, ලංකාපුර, දිඹුලාගල, වැලිකන්ද නියෝජනය කරන නියෝජිතයන් හය දෙනකු නිදහස් ටිපර් රථ සංගමය නියෝජනය කරයි. මේ හයදෙනා හරහා දිස්ත්‍රික්කයේ වැලි අවශ්‍යතාව සපුරාලයි.

අද වන විට තවත් ප්‍රශ්නයකට මනම්පිටිය වැලි කර්මාන්තය මුහුණ දී තිබේ. ඒ වැලි මංකඩවල් ඉල්ලා ටිපර් රථ සංගමය ඒ එක්වීමට කැමැත්ත පළ කරන අය හිටියත් ඒ සඳහා මංකඩවල් දීමට ඉඩකඩ මදි වීමයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත ඇති වූ වැඩපිළිවෙළ නිසා මනම්පිටිය වැලි කර්මාන්තය ආරක්ෂා වී තිබේ. ඒ නිසා ඉදිරියේදී වැලි කර්මාන්තය ආශ්‍රිත ගැටලුවලට නිසි පිළියම් ලැබෙනු ඇත.

වැලි ගොඩදැමීම පිටුපස කතාව සුන්දර නැත. දිවා රෑ නොබලමින් ජීවිතය ජය ගැනීමට විශාල පිරිසක් දුක් විඳිති. වැලි ගොඩදැමීමට එන සේවකයන් සඳහා දිනක වැටුපෙන් අර්ථ සාධක කැපුවත් සමහරු ඊට කැමැති නැත.

ඔවුනට අවශ්‍ය එදින හම්බ කළ මුදල සම්පූර්ණයෙන්ම ලබා ගැනීමටය. නමුත් ට්.ඉ.ර්.ඕ. තාක්ෂණික සේවා ආයතනයට කම්කරු මුදල් එදිනම ගෙවීමට බැරි නිසා අර්ථසාධක මුදල් කපනවාටද ඔවුන් කැමැති නැත.
සේවකයන් රඳවා ගැනීමට අවශ්‍ය නිසා දිනෙක ඉපැයූ වැටුපෙන් භාගයක් අත්තිකාරමක් වශයෙන්ද ලබා දෙයි. සේවකයන් රඳවා ගැනීම වෙනුවෙන් ට්.ඉ.ර්.ඕ. තාක්ෂණික සේවා ආයතනය මහත් කැපවීමක්ද කරයි.

කෙසේ වෙතත් මනම්පිටිය කියන්නේ සංකීර්ණ තැනකි. එතැන එකම ගාලගෝට්ටියකි. දින 15-20 රැඳී සිටිමින් තමන්ට අවස්ථාවක් එනතුරු බලා සිටින ලොරිද තිබේ. එවැනි තත්ත්වයක් තුළ දිනපතා මනම්පිටියේ ටිපර් රථ 300-400ක් පමණ රැඳෙයි. සාමාන්‍යයෙන් මෙතන ඇත්තේ තරගයකි. එම ක්‍රියාදාමය හමුවේ නිලධාරීන්ට හැරෙන්නවත් ඉඩක් නැත. එහෙත් වැලි පැටවීම, ගොඩදැමීම සහ අනෙකුත් කිසිදු නීතියක් උල්ලංඝනය නොකර වැලි ලබා ගැනීමට බලා සිටින ලොරි රථ රියැදුරන් ක්‍රියා කරති.

ට්.ඉ.ර්.ඕ. තාක්ෂණ සේවා ආයතනය හරහා ටෝකන් ක්‍රමයට වැලි ලබාදීමේදී ලැයිස්තුවේ ලොරි අංක ඇති පිළිවෙළට ලබා ගැනීමට පුළුවන්කමක් තිබෙන ලොරි රථවලට වැලි ලබාදිය නොහැකි නම් තිබෙන වැලි ප්‍රමාණය අනුව වැලි ලබාදෙන ක්‍රමවේද වෙනස් කිරීමට ට්.ඉ.ර්.ඕ. තාක්ෂණ සේවා ආයතනය ක්‍රියා කරයි. එහිදී අසවල් කෙනාට කියා විශේෂත්වයක් දක්වන්නේ නැත. එන පිළිවෙළට වැලි ලබාදිය හැකි ප්‍රමාණය ලබා දෙයි. මනම්පිටිය වැලි තොටුපොළ මඟින් වැලි ලබාදීමේදී දැන් පෙර මෙන් නැත. නිසි ක්‍රමවේදයකට නිසි සැලසුමකට වැලි ලබාදීමට ට්.ඉ.ර්.ඕ. තාක්ෂණික සේවා ආයතනය කටයුතු කරමින් සිටියි.

ජනාධිපතිතුමාගේ සංකල්පය මත මනම්පිටිය වැලි ප්‍රශ්නයට මේ වන විට ස්ථීර විසඳුමක් ලැබී තිබේ. එහිදී ඉදිවූ හරිත වැලි තොටුපොළ සංකල්පය මත මනම්පිටිය වැලි කර්මාන්තයේ ඉදිරි ගමනට මහත් පිටිවහලකි.
එහෙත් මේ කාර්යයන් මෙසේ වෙද්දී වැලි සම්බන්ධ අයථා ගනුදෙනු ගැන චෝදනා එල්ල වෙන අවස්ථාද තිබේ. අප මේ සම්බන්ධව ට්.ඉ.ර්.ඕ. තාක්ෂණික සේවා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කළු බණ්ඩාර මහතා විමසුවෙමු.

"ට්.ඉ.ර්.ඕ. තාක්ෂණික සේවා සමාගම, භූ විද්‍යා හා පතල් කාර්යාංශයට අනුබද්ධ ආයතනයක්. මෙය රජයේ සමාගමක්. වැලි ගොඩට ගෙන ඒම, ප්‍රවාහනය ඇතුළු සියලු කටයුතු සිදු කරන්නේ ට්.ඉ.ර්.ඕ. තාක්ෂණික සේවා ආයතනය හරහා. වැලි ගොඩ දැමීමට බලපත්‍ර ලබා දෙන්නේ භූ විද්‍යා එකෙන් සහ අනෙකුත් ආයතනවලින්.

මෙම ආයතනය සේවා කටයුතුවලදී වැලි ගොඩදැමීම, විකුණන ක්‍රියාදාමය ලෙස දෙයාකාරවම සිදු වෙනවා. මේ ක්‍රියාදාම දෙක ඇතුළේ සිදුවන ඕනෑම ක්‍රියාදාමයකට අපි වග කියනවා. එතැනින් පිට සිදුවන ක්‍රියාදාමවලට අපට වග කියන්න බැහැ. අපි කටයුතු කරලා තියෙනවා එවැනි අක්‍රමිකතා අවම කරන්න. අභ්‍යන්තර පරිපාලනයට වැලි සම්බන්ධව මොනයම් හෝ පැමිණිල්ලක් ලැබුණොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා. වැලි අඩුවීම මත තමයි අක්‍රමිකතා වැඩිවෙලා තිබුණේ. දිනකට මනම්පිටියෙන් වැලි කියුබ් 1000ක් නිකුත් වෙනවා. ඒ තුළින් ලොරි 300කට අධික ප්‍රමාණයකට වැලි පැටවෙනවා. අපි උත්සාහ කරන්නේ වැලි ගොඩ දාන එක වැඩි කරන්න. ඒ සඳහා තීන්දු තීරණ අරගෙන තියෙනවා. ඒ තුළින් වැලි අක්‍රමිකතා අවම කිරීමට, මැඬ පවත්වන්න අපි කටයුතු කරනවා.

අපි අභ්‍යන්තර පරීක්ෂකවරයෙක් යොදවා අක්‍රමිකතා ගැන එන පැමිණිලි ගැන සොයා බලා වාර්තාවක් ගෙන සොයා බලනවා. පරීක්ෂක නිලධාරියා මාස තුනෙන් තුනට වැලි මංකඩට ගොස් තොරතුරු ගන්නවා. ඒ මඟින් අභ්‍යන්තර අක්‍රමිකතා අඩු කර ගන්න බලනවා. අභ්‍යන්තර විගණනයක් වෙනවා.

ලොරි තියෙන අයට විතරයි වැලි දෙන්නේ. ටෝකන් එකක් තිබුණ පළියට වැලි දෙන්නේ නැහැ. ටෝකන් එක දෙන්නේ ලොරි නොම්බරයත් එක්ක. ඒක වෙන ලොරියකට පටවන්න බැහැ. ඉස්සර එහෙම වුණා. දැන් එහෙම වෙන්නේ නැහැ. අක්‍රමිකතා අවම කරන්න තාක්ෂණය පාවිච්චි කරනවා. ඛ්ඛ්ඊඍ කැමරා ඔන්ලයින් සිස්ටම් හරහා මේ ක්‍රමය විධිමත් කරන්නයි අපේ සූදානම" යැයි කළු බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවැසුවේය.

මනම්පිටිය වැලි ටෙන්ඩරයකට අනුමැතිය ලබා නොදීම හේතුවෙන් පොළොන්නරුව දිසාපතිවරයා තැපැල්පති කර කොළඹ එවීම ගැන අපි පසුගියදා වාර්තා කළෙමු. නමුත් ජනාධිපති ලේකම් කාර්යාලය අප වෙත දැනුම් දී තිබුණේ දිසාපතිවරයා කොළඹට මාරු කළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියමයකට බවයි.

පොළොන්නරුව දිසාපතිවරයාට එල්ල වී තිබූ දූෂණ වංචා පිළිබඳව හා අක්‍රමිකතා චෝදනා පිළිබඳ පරීක්ෂණ කටයුතු සඳහා ඔහුව කොළඹට ගෙන්වා ඒ ගැන පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් දන්වා තිබිණි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සම්බන්ධ කරගනිමින් මේ ගැන විමසීමට අප බ්‍රහස්පතින්දා සවස 2.00 සිට සිකුරාදා 12.00 පමණ වන තුරුත් උත්සාහ කළත් ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. ඒ ලේකම්වරයා හදිසි රැස්වීම් කිහිපයක හා කාර්යාලයේ රැදී නොසිටිය හෙයිනි.

ප්‍රගීත් සම්පත්

ඡායාරූප - උදේෂ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon