දිස්ත්‍රික්ක තුනක ගොටුකොළ, මුකුණුවැන්නවල මිනිස් අහාරයට නුසුදුසු වස විස පිරිලා

  👤  2797 readers have read this article !
By mawbima 2018-10-21

"වවන්නෝ දිනන්නෝ" ලෙසින් සමාජගත වූ ප්‍රකට කියමනක් මෙරට ඇත. එහි ගැබ්ව ඇත්තේ වගා කිරීමෙන් එසේත් නැතිනම් කෘෂිකර්මාන්තයෙහි නිරත වීමෙන් ඕනෑම පුද්ගලයකුට වඩාත් යහපත් ආර්ථික ස්ථාවරයකට පැමිණිය හැකි බවට ලබා දෙන තක්සේරුවකි. නමුත් ඔවුන් නිෂ්පාදනය කරන දෑ කන, බොන පාරිභෝගිකයන් පරාද වී වවන්නන් පමණක් දිනා අත්පත් කරගන්නා වූ ඒකපාර්ශ්වීය ජයග්‍රහණයකින් රටකට අත්වන්නා වූ කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැත. ඒ බව වඩා හොඳින් තහවුරු වූයේ පසුගිය 6, 7 දෙදින තුළ පැවැත්වූ ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 20 වැනි වාර්ෂික සමුළුවේදී කළ හෙළිදරව්වකිනි.

මෙවර ඔවුන්ගේ තේමාව බවට පත්ව තිබුණේද 'නිපදවීමට ඔබ්බෙන් ගොවිකම' යන්නය. සැබැවින්ම ඔවුන්ට අවශ්‍යව තිබුණේ තමාගේ අතමිට සරුවීම පිළිබඳ පමණක් නොසිතන, අනෙකා ගැනත් සංවේදී වන ශිෂ්ට සම්පන්න ගොවි පරපුරක් තනා ගැනීමේ අරමුණය. තිරිසන් සතකුටවත් වස විස කවන්නට මැළිවන මිනිසුන් ලෙස ප්‍රකට වූ අපි ආර්ථික ලාභ ප්‍රයෝජන පමණක් පෙරටු කොට ගෙන අපේම අනෙකාට වස විස කවමින් රටම රෝගීන් බවට පත් කරමින් සිටින්නෙමු.

පේරාදෙණියේදී පැවැත්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 20 වැනි වාර්ෂික සමුළුවේදී අදහස් ප්‍රකාශ කළ විද්‍යාඥවරියකගේ විද්‍යාගාර පරීක්ෂණයක් පිළිබඳව මෙරට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත. එදින ඇය දැක්වූ අදහස් හා ඇගේ විද්‍යාගාර පරීක්ෂණය පිළිබඳව සියලු තොරතුරු ඒදදචතඵ ධට ඉඪප ඹ්චදඬච ච්ඥනචපබථඥදබ ධට ඒඨපඪජභතබභපඥ 2018 (ඒඉච්ඒ) ලෙසින් මුද්‍රණය කොට තිබෙන එහි 20 වැනි වෙළුමෙහි අන්තර්ගත වේ. පේරාදෙණිය පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් සිදුකොට ඇති මෙම පර්යේෂණය පිළිබඳව එම මුද්‍රණයෙහි දක්වා ඇත්තේ මෙසේය.

"බහුලව කොළ එළවළු සහ පලාවර්ග වවන දිස්ත්‍රික්ක තුනක් මේ සඳහා ඔවුන් යොදා ගෙන ඇත. මහනුවර, කළුතර, පුත්තලම යන දිස්ත්‍රික්කවලින් එම එළවළු හා පලා සාම්පල ලබා ගන්නට ඔවුන් පියවර ගෙන ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ රටේමුල්ල, මාරස්සන, තලාතුඔය ආදී ගොවි ක්ෂේත්‍රද, කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, මිල්ලනිය, හොරණ ද පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආරච්චිකට්ටුව, අඹකැලේ හා මුගුණවටවන ගොවි බිම්ද ඒ සඳහා සාම්පල් ලබා ගැනීමට යොදා ගෙන තිබිණි.

අස්වනු නෙළන මට්ටමේ ඇති එම වගාබිම්වලින් ලබා ගත් ගොටුකොළ හා මුකුණුවැන්න සාම්පල එම රසායනාගාර පරීක්ෂාවට ලක් කෙරිණි.

එහිදී කළ සමීක්ෂණයෙන් අනාවරණය වූයේ එළවළු හා පලා වර්ග වවන ගොවියන් බහුල වශයෙන් පළිබෝධනාශක වර්ග 5ක් ඒවාට ඉසින බවකි. නමුත් රසායනාගාර පරීක්ෂණයෙන් හෙළි වූයේ පළිබෝධනාශක හතරක අවශේෂ කොටස් එම සාම්පල තුළින් හමු වූ බවකි. ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු හානිදායක වර්ග 4කි. නම් වශයෙන් දැක්වුවහොත් ෆිප්‍රොනිල් (ජ්ඪනපධදඪත), ෆෙන්තොඒට් (ර්ථීඩඥදබධචබඥ) , ප්‍රොෆොනොෆොස් (ර්ථීපධටඥදධනඩධඵ) සහ ටෙබුකොනසෝල් (ඊඥඡභජධදලධතඥ) ය. මේවා සැබැවින්ම හානිකර බවට ලේබලයෙහි කහ පැහැයෙන් දක්වා ඇති දෙවැනි භාණ්ඩයට අයත් විස සහිත පළිබෝධනාශකය.

පරීක්ෂණයට යොදාගත් ගොටුකොළ සාම්පල් දෙකක ප්‍රොෆෙනොෆොස් කෘමිනාශකය 7583 නනඡ ලෙසින් ඉහළ ප්‍රමාණයක් අන්තර්ගත වී තිබිණි. එය ජාත්‍යන්තර සීමාව වන 10නනඡ මට්ටමට වඩාත් ඉහළින් ඉක්මව තිබූ අගයකි. තවත් පලා සාම්පලයක ෆිප්‍රොනිල් (ජ්ඪනපධදඪත) අන්තර්ගතය 372 නනඡ ලෙස සටහන් විය. එය යුරෝපයේ සම්මත 5නනඡ අගය ඉක්මවා ගොස් තිබිණි.

ටෙබුකොනසෝල් යනු සංස්ථාපිත දිලීර නාශකයකි. එය යම් වගාවකට ඉසීමෙන් පසු හොඳින් එම වගාවට අවශෝෂණය කර ගන්නා බවත් සේදීමකට ලක් කළත් ඒවා ශාකයෙන් ඉවත් නොවන බව එහිදී පවසා ඇත. අනෙක් පළිබෝධනාශකය වන ප්‍රොෆෙනොෆොස් ස්පර්ශ කෘමි නාශකයක් වුවත් එය ජලයේ දිය නොවන බැවින් සේදීමෙන් ඉන් අත්වන ප්‍රතිඵලයක් නැත.

ඒ අනුව ඔවුන් ලබාගත් ගොටුකොළ හා මුකුණුවැන්න සාම්පල්වල එම හානිදායක පළිබෝධනාශක කොටස් අවශේෂ වී ඇති බවට තහවුරු කෙරිණි. පේරාදෙණිය පළිබෝධනාශක කාර්යාලයෙන් එම සාම්පල ලබා ගෙන තිබුණේ අස්වනු ලබා ගැනීමට දින දෙකකට පෙර, සරුවට වැවී තිබූ ගොවි බිම්වලිනි. ඔවුන් එම සාම්පල ලබා ගැනීමට පෙර දින 6 - 7 ක් වැනි කාලයක් එම ප්‍රදේශවලට තද වර්ෂාව ඇද වැටී තිබිණි. වර්ෂාවෙන් පතිත වූ ජලයටද එම පළිබෝධනාශක කොටස් සේදීගොස් නොතිබුණු බව එම පරීක්ෂණයෙන් තහවුරු විය.

ඔවුන් ලබාගත් ගොටුකොළ හා මුකුණුවැන්න සාම්පල්වල 50%කට හානිකර අන්දමින් පළිබෝධනාශක ශේෂ වී තිබුණු අතර ඉන් 40%කම තිබුණේ කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලින් ලබාගත් පලා වර්ගවලය. ඉතිරි 20%ක ප්‍රමාණය මහනුවර දිස්ත්‍රික්කයේ සාම්පල්වල අන්තර්ගත විය.

මෙම රසායනාගාර පරීක්ෂණය සිදු කළ පිරිස එම ගොවිබිම්වල ගොවීන්ට ප්‍රශ්නාවලියක් ලබා දී තිබිණි. ඒ ඔවුන් වගාබිම්වලට පළිබෝධ නාශක භාවිත කරන ආකාරය පිළිබඳවය. ඒ ප්‍රශ්නාවලියට ඔවුන්ගෙන් ලැබී තිබුණේ අයහපත් ආකාරයේ පිළිතුරුය. ඒ අතර ගොවීන් රෝග පැමිණීමටත් පෙර සිටම වගාවන්ට පළිබෝධනාශක ඉසින බවත් අස්වනු නෙළීමට දින දෙකකට පෙරත් කෘමිනාශක ගසන බවත් හිතු මනාපයට හානිදායක පළිබෝධනාශක දියර වර්ග දෙක තුන එකට මිශ්‍ර කොට වගාවලට යොදන බවත් හෙළිදරව් විය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දෙන ආකාරයට ඒ අයුරින් පළිබෝධනාශක දියර මිශ්‍ර කොට යෙදීම ඉතාම අන්තරායකාරී පියවරකි. හානිදායක, විස සහිත දියර වර්ග කිහිපයක් එකතු වී රසායනික ප්‍රතික්‍රියා කිරීමෙන් ඉතාමත් උග්‍ර විස සහිත රසායනිකයන් නිපදවෙන අතර ඒවා මිනිස් සිරුරට ඉතා හානිදායක අයුරින් ක්‍රියාත්මක විය හැකිය.

එම සමුළුවේ පවසා ඇති අන්දමට කොළ එළවළු හා පලා වර්ග කිසිවකට ගැසිය හැකි පළිබෝධනාශක කිසිවක්ම ඔවුන් නිර්දේශකොට නැත. ඒ අනුව අනාවරණය වූයේ ගොවීන් තම හිතුමනාපයට මෙම පළිබෝධනාශක තම එළවළු හා පලා වගාවන්ට යෙදීමට පුරුදු වී ඇති බවකි.

බොහෝ දෙනකු සිතා සිටින්නේ මෙම පළිබෝධනාශකවලින් අවශේෂව ඇති කොටස් එම එළවළු හා පලාවර්ග සේදීමේදී හා පිසීමේදී ඇතිවන උෂ්ණත්වය තුළදී විනාශ වන බවකි. නමුත් එය එසේ නොවන බව මෙහිදී අවධාරණය විය. ගැඹුරු භාජනයක් තුළ දමා සේදීමෙන් කිසිම විටෙක එම විස ඉවත් නොවේ. යම්තාක් දුරට හෝ ඒවා ඉවත්වන්නේ ගලායන ජලයට අල්ලා මඳ වෙලාවක් සේදීමෙන් අනතුරුවය. නමුත් එය 100%ක සුරක්ෂිත ක්‍රමයක් නොවේ. මෙම පලා සාම්පල රසායනාගාරයේදී සෙන්ටිගේ‍ර්ඩ් අංශක 250ක් වැනි ඉහළ උෂ්ණත්වයක් යටතේ තබා පරීක්ෂණයට යොමු කළ පසුත් එම විස ද්‍රව්‍යයන් නොනැසී පැවතුණු බැවින් ළිප මත තබා පිසීමේදී ඒවා ඉවත්වේ යැයි සිතීමද හාස්‍යයකි.

ඔවුන් මෙම පරීක්ෂණ සිදුකළේ නවීන උපකරණ හා නවීන තාක්ෂණය භාවිත වන විද්‍යාගාරයක් තුළය. රජයේ ආයතන සතු විද්‍යාගාර අතරෙන් දෙවැනි තැන ගන්නේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඇති විද්‍යාගාරයයි. එය ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ ප්‍රමිතිකරණය මඟින් ධ්ඉර්ණී 17025 යටතේ පිළිගැනීමට හා ඇගයීමට ලක්වූ විද්‍යාගාරයකි. එහි එක කොටසක පළිබෝධනාශකවල ඉතිරි කොටස් හෙවත් අවශේෂ පරීක්ෂා කරන අතර තවත් කොටසක සෘජුවම පළිබෝධනාශක පිළිබඳව පරීක්ෂණ පවත්වයි. එබැවින් ඔවුන් කළ මෙම පරීක්ෂණය අපට සුළුවට සලකා බැහැර කළ නොහැකිය.

මෙහි අවදානම වන්නේ මේ වන විටත් එම දිස්ත්‍රික්කවල ගොවීන් නිපදවූ ගොටුකොළ හා මුකුණුවැන්න මුළු රට පුරාම ව්‍යාප්තව ගොස් තිබීමය. ඒවා ඇතැම් විට ඔබේ කෑම මේසයටත් ඔබේ නිවෙසේ මුළුතැන්ගෙයටත් ගොසින් තිබීමට ඉඩ ඇත. ඒ පිළිබඳව සිතා බියට පත්ව ගොටුකොළ, මුකුණුවැන්න වෙළෙඳපොළෙන් මිලදී ගැනීම වර්ජනය කරන්නට සිතනවා නම් එය මෙම ගැටලුවට පිළියමක් නොවන බවත් කිව යුතුය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සොයාගෙන ඇති ආකාරයට අපේ රට තුළ ආහාරයට ගත හැකි කොළ වර්ග 59කි. එවා ඕනෑ තරම් මෙම භූමියෙන් සොයා ගත හැකිව තිබියදී බොහෝ දෙනකු පුරුදු වී සිටින්නේ ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං වැනි පලා වර්ග දෙක තුන ආහාරයට ගැනීමටය. නමුත් කෙනකුට අවශ්‍ය නම් ඒවාට ආදේශ කළ හැකි පලා වර්ග ඕනෑ තරම් සොයා ගත හැකිය. ඒ අතරම ඕනෑම නිවෙසක ගොටුකොළ, මුකුණුවැන්න ආදිය මල් පෝච්චියක වුව වවාගත හැකි බැවින් තවදුරටත් වසවිස යෙදූ පලා වර්ග සුපිරි වෙළෙඳසල්වලින් මිලදී ගැනීමේ අවශ්‍යතාව පැන නොනඟිනු ඇත.
ලෝකයේ සංවර්ධිත යැයි නිර්දේශිත බොහෝ රටවල මේ වන විටත් විස

රසායනික අන්තර්ගත පළිබෝධනාශක භාවිතයෙන් අෑත් වී ඇත. ඔවුහු ඒ වෙනුවට පරිසරයට හා පාරිභෝගිකයාට හිතකර අන්දමේ පිළිවෙත් අනුගමනය කරති. නමුත් ඛේදය වන්නේ සංවර්ධනය වෙමින් පවතින බොහොමයක් රටවල තවමත් මෙවැනි අහිතකර ප්‍රතිඵල ලබාදෙන, සෞඛ්‍ය ගැටලු ඇති කරන පළිබෝධනාශක වැඩි වැඩියෙන් භාවිතයට ගැනීමට පෙලඹී සිටීමය. ඉක්මනින් දියුණු වන්නට සිතා කරනා මෙවැනි අඥාන ක්‍රියාකාරකම්වලින් සිදුවන්නේ එම රටවල් තව තවත් අර්බුදයන්ට මැදිවීම පමණි. අපේ රටටත් එය පොදුය.

අපේ රටේ වැඩි වශයෙන් භාවිත වන පළිබෝධනාශක බොහොමයක් ඒවා නිෂ්පාදනය කරන රටවල පවා භාවිතය තහනම් කොට ඇති අතර තවත් රටවල් ඒවා භාවිතයේදී යම් යම් සීමා පනවා ඇත. ජාත්‍යන්තරව තහනම් කොට තිබෙන කාබෝෆියුරාන්, ක්ලොරොපයිරිෆොස්, ග්ලයිෆොසෙට් ආදිය තවමත් අපේ රට තුළ වගා කටයුතුවලදී යොදා ගනු ලබයි. ඉන්දියාව සහ ලතින් ඇමෙරිකානු රටවලත් මේවා බහුලව භාවිත කළත් රටේ ජනතාවගේ යහපත ගැන සිතනා සංවර්ධිත රටවල් මේවා භාවිතය තහනම් කොට ඇත.

මෙරටට ගෙන්වන බොහොමයක් පළිබෝධනාශකවල ගුණාත්මක බව සම්බන්ධයෙන් ගැටලු විශාල ප්‍රමාණයක් ඇත. ඇතැම්විට හානියෙන් තොර ගුණාත්මක බවින් වැඩි පළිබෝධනාශකවල මිල ගණන් ඉතා ඉහළ බැවින් ඒවා මිලදී ගැනීමට හැකි ආර්ථික ශක්‍යතාව අපේ රට වැනි දියුණු වෙමින් පවතින රටවලට නොමැති වීම ඊට බලපාන ප්‍රධානම සාධකය විය හැකිය.

නමුත් ඒ වෙනුවට ක්‍රියාත්මක කළ හැකි ඵලදායීි විකල්ප ක්‍රම ඕනෑ තරම් ඇත. සංවර්ධිත රටවල මෙන් කාබනික පොහොර යෙදීම හා ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන පළිබෝධනාශක ක්‍රමවලට යොමු වීම ඒ අතරින් ප්‍රධාන වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා අවශ්‍ය දැනුම සහ අවබෝධය ඕනෑම අයකුට ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව ඇත. එසේ තිබියදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා අනතුරු අඟවා ඇති ග්ලයිෆොසෙට් වැනි රසායනිකයන් මත අප තවමත් යැපෙමින් සිටිනුයේ ඒවාට ආදේශන නැතැයි කියමින්ය.

මෙවැනි අවකල් ක්‍රියාවන්හි බරපතළකම පසක් වීමට තව බොහෝ කාලයක් ගත වනු ඇත. නමුත් ඒ වන විට මේවා පිළිබඳ කතා කිරීමට දෙපයින් සිට ගෙන සිටිය හැකි, ඇස්, කන් අයා අවබෝධ කරගත හැකි සවිඥානික මිනිසුන් වෙනුවට කිසිවක් කර කියා ගත නොහැකි, වූ දුර්මුඛ, අකර්මණ්‍ය ගිලනුන් පමණක් මේ පොළොවෙහි ඉතිරි වනු ඇත.

අරුණි මල්ලවආරච්චි

(ඒදදචතඵ ධට ඉඪප ඹ්චදඬච ච්ඥනචපබථඥදබ ධට චඨපඪජභතබභපඥ 2018) මුද්‍රිත 20 වැනි වෙළුම ඇසුරිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon