තිතට ගහන ගැට

  👤  2970 readers have read this article !
By mawbima 2018-10-21

"කෙසේ හෝ අලුත් ආණ්ඩුවක් පිහිටුවනවා" යන අදහසින් ඇරැඹුණු කුඩා කණ්ඩායම් කිහිපයක උත්සාහය තවමත් එසේමය. එය ඉටු නොවෙන, සිහිනයක් යැයි පිරිසක් සිතුවද ඉතාමත් ක්‍රියාකාරී කොටසක් කවුරුත් නොහිතන තරමේ සියුම් උත්සාහයකය. එය දුෂ්කරතා රාශියක් මැද, තම තමන්ගේ සහෝදර පිල අතරින්ම රිංගා ගොස් රහසේම ක්‍රියාත්මක කළයුතු වග හඳුනාගත් මේ සක්‍රිය කණ්ඩායම තීරණාත්මක තැනකය.

"මෛත්‍රිව සත පහකට විශ්වාස කරන්න එපා. එයා අපි කියන දේ නෙවෙයි, අපි හිතන දේ නෙවෙයි කරන්නේ. අන්තිමට සද්දයක් නැතිව වැඩේ ඉවර වෙන්නම ඉඩ ඇරලා නිකන් ඉඳීවි."
ආණ්ඩුවේ සිට ඉවත් වූ මේ හරිය හොඳින් දන්නා ප්‍රබලයෙක් ආණ්ඩුව හැදෙන්නේ නැති බවට ඉඟියක් දෙමින් එසේ කීවේ නිකමට නෙවෙයි.

"නෑ මෛත්‍රි කලකිරිලා. කැබිනට් එකේදී රනිල්ගෙ කල්ක්‍රියාව අල්ලන්නෙ නැති නිසා හොඳටම බැනලා. එයාගෙ තනි තීන්දුවලට කනේ පාරක් දුන්නා වගේ කතා කරලා. බලන්නකො ඉස්සරහට වෙන දේවල්" ය කියා කැබිනට් රහස් කෙසේ හෝ දැන කියාගත් ඒකාබද්ධයේ ක්‍රියාධරයකු මෛත්‍රි හා රනිල් ගේ දීගය කැඩෙන එක වැඩි අෑතක නොවේ යැයි දක්වමින් කීවේද තමන් විශ්වාස කරන ආරංචි මාර්ග අනුවය. කෙසේ වෙතත් මහින්ද ගැන හොඳින් දන්නා ඔහුට ඉතා සමීප බොහෝ දෙනා කියන්නේ ආණ්ඩු වෙනස් වෙන කතාව මුලින් සුබවාදීව තිබුණද දැන් එය මෛත්‍රි විසින් මෙහෙය වන යම් යම් කාරණා මත නිශ්චිතවම කඩාකප්පල් වේද නැද්ද යන්න තීරණය වන බවය.

"රනිල් කලබල නෑ කියලා පෙන්නුවට එයා ටිකක් කැලඹිලා. එයාගේ හිතේ වැඩ කරන්නේ යූඑන්පීයේ ප්‍රබලම කොටසකුත් කඩාගෙන, ශ්‍රී ලංකා එකේ ටිකකුත් කඩාගෙන මෛත්‍රි වෙනම විදියේ ගේමක් දේවි කියලයි"
රනිල් ගැන ඔත්තු බලනා, නිරතුරුව රනිල් පිල හා සම්බන්ධ වෙන ශ්‍රී ලනිපයේ මෛත්‍රි පාර්ශ්වය ප්‍රබලයකු තමන් දැනගත් දේ හිතවත් මාධ්‍යවේදීන් හා හුවමාරු කර ගනිමින් එසේ කීවේද නිකමට නොවේ. කෙසේ වෙතත් ආණ්ඩු පෙරැළීමත්, ආණ්ඩු හැදීමත් යන කාරණාවල සැබෑව දකින තුරු මහින්ද මේ ගැන ඉවසිල්ලෙන් බලා සිටීම සුවිශේෂ තත්ත්වයකි.

"ලොක්කා ඔය මොන උත්සාහය ගත්තත් හිතන්නෙ සවුත්තු වෙලා ආණ්ඩු හදා ගන්න නෙවි. ඡන්දයක් තිබ්බොත් රටේ මේ වෙන කොට තියෙන තත්ත්වය අනුව බහුතර බලයක් මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් නැඟිටින පෙරමුණකට බලය ලැබෙනවා ස්ථිරයි. එහෙම වුණොත් ජයග්‍රහණය විශිෂ්ටයි. ඒ නැතිව මෛත්‍රි එක්ක එකතු වෙලා මහින්ද මහත්තයා දෙවැනි පුරවැසියා වෙලා ආණ්ඩු හදන්න ඒ හැටි කැමැති නෑ වගේ."

මහින්ද සිතන ආකාරයත්, සැලැසුම් කරන ආකාරයත් සතුරු පාර්ශ්වය කොටු කර ගන්නා ආකාරයත් ගැන දන්නා සමීපතමයන් මේ බලා සිටින්නේ ඔහු තබන ඊළඟ පියවර කුමක් විය හැකිද යන්න විය යුතුය.

"කොහොමටත් රනිල් - මෛත්‍රි ගැටුම දුරදිග යනවා. ඒකෙන් තව තවත් මිනිස්සු කලකිරෙනවා. මේ දෙන්නම රටට පේන්න හිනා වුණාට, උත්සවවලදී යාන්තමට කොහොමද කියලා සුවදුක් ඇහුවට නයි වෛරයි. මෛත්‍රිට රනිල්ව අල්ලන්නෙත් නෑ. රනිල්ට මෛත්‍රි අල්ලන්නෙත් නෑ. ඊටත් වඩා රනිල් - මෛත්‍රි යාන්තමට හරි කතා කරගෙන ප්‍රශ්න විසඳගන්න තැනට ළං වෙනකොටම මෛත්‍රි ළඟ ඉන්න අපූරු උපදේශකයෝ ඒක ගාණට විනාශ කරලා දෙන්නා හප්පනවා. ඒ නිසා අපිට අමුතුවෙන් හප්පන්න දෙයක් ඉතිරි වෙන්නෙ නෑ" මහින්දගේ ක්‍රියාධරයකු තමන් ලද තොරතුරුවල විශ්වසනීය බව තහවුරු කරමින් මෙසේ කීවේද නිකමට නොවේ.
මේ තත්ත්වය මෙසේ පෙළගැසෙද්දී මහින්ද වටා සිටින බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ, ඡන්දය කුමක් වුවත් එළැඹෙන මුල්ම ඡන්දය පොදුජන පෙරමුණ වටා ඒකරාශී වන බලවේගයක් හරහා ඉතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ හැකි වන නිසා මෛත්‍රිටත් රනිල්ටත් ඕනෑ තරම් ගහ බැන ගන්නට ඉඩ හරිමුයි කියලාය. මේ ගහ බැන ගැනිල්ල වාසියට හරවා ගන්නැයි කියලාය.

එසේම ජොන්ස්ටන්ට එල්ල කළ සියලුම චෝදනාවලින් නි‍ෙදාස්කොට නිදහස් කිරීම ආණ්ඩුව ලද විශාල පරාජයක් නිසා වැඩි පිරිසකගේ මතය වී ඇත්තේ ඒ නිසාම දේශපාලන දඩයම් කිරීමේ අරමුණින් දැමූ සියලු නඩුවලට සාර්ථකව මුහුණ දී ඉන් ජයගත යුතු බවය.

"ඒ විතරක් නෙවී එෆ්.සී.අයි. ඩීයත්, ඒකෙ ඉන්න ආණ්ඩුවට ගැති නිලධාරීන් ටිකත් කරපු කියපු දේවල්වල නීති විරෝධීභාවය පෙන්වලා ඔවුන්ට එරෙහිවත් චෝදනා ගොනු කරන්න කටයුතු කරන්න ඕන. මේ නිලධාරීන් විතරක් නොවේ ඔවුන්ට උපදෙස් දුන්නු උදවියත් කවදා නමුත් රටට හෙළි කරන්න ඕනෑ. මෙවැනි නීති විරෝධී වැඩ නවත්වන්න වැඩ කරන්න ඕනෑ" කියා බොහෝ දෙනා මහින්දට උපදෙස් දෙමින් ද අදහස් දක්වමින්ද මේ ප්‍රතිඵලය භුක්ති විඳින්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.

එහෙත් තවත් අයගේ උපදෙස් වී තිබෙන්නේ ඒ කටයුතු ඇත්ත වුවත්, කළ යුතු දේ වුවත් තවමත් පොලිසිය භාර පාර්ශ්වයෙන් හා හොරුන් අල්ලන ආණ්ඩුවේ ව්‍යාපෘතියෙන් ප්‍රතිප්‍රහාර එල්ල විය හැකි නිසා මහින්ද, ගෝඨා, නාමල්, බැසිල් වැන්නවුන් රැකගන්න ආරක්ෂක පියවරයන් වෙත යමින් එය කළමනාකරණය කරගත යුතු බවය.

මහින්ද ඊට ප්‍රවේශ වෙමින් එය දිග පළල හා හැබෑව හොඳින් දකිමින් පසුගියදා කොස්ගමට ගොස් කීවේ මෙවන් කතාවකි.

"අපිට මේ ආණ්ඩුවට විරුද්ධව අනවශ්‍ය දේවල් මවා පාලා මඩ ගහන්න වුවමනාවක් නෑ. රජය අපහසුතාවට පත් කරන්න නම් මේ ආණ්ඩුව කරන වැඩ ටික පිළිබඳව ජනතාව හරියට දැනුවත් කළාම ඒ හොඳටෝම ඇති කියලයි මම නම් විශ්වාස කරන්නේ" ය කියලාය.

මාගම්පුත්‍ර
ඉන් මහින්ද කියන්න උත්සාහ කළේ "අපට කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ. ආණ්ඩුවම ආණ්ඩුවේ ආයුෂ අඩු කරගන්න දේවල් කරගෙන යනවා. ඒ නිසා මේ ආණ්ඩුව වැඩි කාලයක් යන්නෙ නෑ. බලාගෙන ඉන්නකෝ" කියලා විය යුතුය.

මහින්ද තබන පියවර සෙසු අය මෙන් දඩිබිඩියේ නොව පිළිවෙළකට හා උපායශීලීව බව පෙනෙයි. ඔහු වෙන්න යන දේ හා පේන දේ දන්නා නිසා ඒවා කළමනාකරණය කර ගනිමින්, මර්මස්ථාන කොටුකරගනිමින් පියවර තබන බවක් පෙනෙයි.

රත්නපුර නව නගරයට ගොසින් මහින්ද මෙහෙමත් කීවේ ඉන් පසු වෙන දේ දන්නා නිසා විය යුතුය.

"බොරු නඩු හදන්න එෆ්.සී.අයි. ඩීය පාවිච්චි කරනවා. එෆ්.සී.අයි.ඩී. යට විරුද්ධව අධිකරණයේ ගොනු කළ නඩුව අද වෙනකල් අහලා නෑ. නීති විරෝධීව තමයි මේ අය කටයුතු කරන්නේ"

මහින්ද මේ ටික කීවේ 13 වැනිදාය. ජොන්ස්ටන්ට නිදහස ලැබුණේ 17 වැනිදාය.

දැන් මහින්දට හොඳ නිමිත්තක් ලැබී තිබෙන්නේය. එය හොඳ සිහිනුවණින් පාවිච්චි කර ගත්තෝතින් ගොඩය. එනම් එෆ්.සී.අයි.ඩී.ය නීති විරෝධී බව ඔප්පු කරන්න මෙය හොඳ සාක්ෂියක් වන නිසාය.

එය තවදුරටත් අධිකරණයේ ඉදිරියට ගොස් අර්ථ නිරූපණය කර ගතහොත් දේශපාලන හේතු මත පළි ගැනීමට කිසියම් චෝදනාවක් ගොනුකොට තමන්ගේ සගයන් හා තමන් කොටු කර ගන්නට හදනවා නම් එයට එරෙහි විය හැකි බලවේග හැදිය හැකිය.

මහින්දට උපදෙස් දෙන සමීපතමයන්ගේ දැක්මට අනුව, ආණ්ඩුව හත් අතේ අනාගෙන ඇති අවස්ථාවක, රනිල් හා මෙන්ම එජාපය හාද කලකිරී සිටින පිරිස් තමන් වෙත නතු කර ගන්නා ක්‍රියාන්විත හෙට අනිද්දා කරළියට එනු ඇත. සක්‍රිය වනු ඇත. ඒත් සමඟම ජනතාව සිටින ස්ථාවරය හඳුනා ගෙන, පළාත් සභා හෝ ජනාධිපතිවරණය හෝ පවත්වන දිනෙක ප්‍රතිඵලය ජයග්‍රාහී එකක්ම කරගන්නට බොරු ආණ්ඩු පෙරළිවලට වඩා එහා ගිය දෙයක් ඇතැයි කියන කතාවල ඇත්තක් තිබෙන්නට පුළුවන. කවුරුත් දන්නවාට වඩා වෙනස් තැනකින් ප්‍රශ්නය දෙස බලන මහින්දව රවට්ටනවා කියන්නේ, එය ලෙහෙසි පහසු දෙයක් නොවන්නක්මය.

මාගම්පුත්‍ර  

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon