සොමියට ඇවිත් වැඩ වරද්ද ගත්තු සමනල අඩවියේ ෆේස්බුක් සාදය

  👤  2712 readers have read this article !
By mawbima 2018-10-21

කදුරුවන් ‍ෙදාළ රක්ෂිතයටයි හබුළුගල වල් ජම්බෙ මූකළානයේ මැදිවන වනුමුරේ ගම තියෙන්නෙ සිරීපාද අඩවියෙ. හරියටම කියනව නම් රත්නපුරේ ඉඳල හැතැප්ම හතක් අටක් ගිලීමලේ. වේවැල්වත්ත පාරේ ගියහම හම්බවෙන දුරෙක්කන්ද කියන ගමෙන් හැරිලා එතැන ඉඳලත් කිලෝමීටර් පහක විතර බොහෝම දුෂ්කර ගමනක් ගිහින් තමා මේ ගමට සේන්දුවෙන්න පුළුවන්.

පසුගිය සතියේ දවසක අප මහත් දුෂ්කර ගමනකින් වනුමුරේ ගමට ගියා.

ඒ වනුමුරේ ගමටම නෙමෙයි. වනුමුරේ ගම ඉමේ තියන අක්කර 100 වත්ත හොයාගෙනයි ගියේ.

ඒ පහුගිය සතිඅන්තෙ මේ අක්කර 100 වත්තෙ තියන කියන නිවාඩු නිකේතනයේ තිබුණයි කියන මුහුණු පොතේ (ජ්චජඥ ඡධධඬ) සාදයක් අතරේ වුණාය කියන කලබැගෑනියක් ගැන ඇත්ත නැත්ත හොයන්න තිබුණු උනන්දුව හින්දයි.

වනුමුරේ ගමට යන්න පුළුවන් ෆෝවීල් දලු ලොරිවලටයි, ටිපර්වලටයි කියලයි දුරෙක්කන්දෙ ගමේ අය කිව්වෙ. යතුරුපැදියක් යන්නෙත් ගලෙන් ගලට පැන පැන සමහරවිට ටික දුරක් තල්ලු කරගෙන.
මට මඟ පෙන්වන්න වගේම මගේ සහායට කතාකරගත් වසන්ත ප්‍රදීප් ගම ගැන විතරක් නොවෙයි වනමුරේ ගමට යන පාර ගැනත් හොඳට දන්න කෙනෙක්.

අපි මුලින්ම ගියේ දුරෙක්කන්ද ගමට. මල්වල හන්දියෙන් හැරිල වේවැල්වත්ත පාරේ කිලෝමීටර් හතක් විතර දුර යද්දියි දුරෙක්කන්ද ගම හමුවෙන්නෙ.

'අක්කර 100 වත්තට යන්නෙ කොහොමද' වසන්ත පාරේ හිටපු කෙනෙක්ගෙන් ඇහුවා.

"එයා අන්දුන් කුන්දුන් වෙලා උඩ බිම බැලුව."

"අර ඉරිදා රෑ කොළඹින් කොල්ලො, කෙල්ලො ටිකක් ඇවිදින් නට නටා හිටියා කියපු තැනට."

ආයියෝ මහත්තයා එහෙම අහන්න එපායැ. ඒක නම් තියෙන්නෙ අන්න අතන වංගුව හැරුණාම වමට තියන පාරේ ගියහම. හැබැයි පාර ටිකක් අමාරුයි. පරිස්සමින්. වනුමුරෙත් පහුකරලා යන්න තියනවා. මූකළාන මායිමටම. අපිත් කතා වුණේ මේ පිස්සු කෙල්ලො කොල්ලො මේ මහකැලේ මොන මඟුලකට ආවාද කියලා. මගෙ අම්ම අප්ප වැඩිහිටියො නැතිවද මේව හොයන්න. උන්ටනං හෙන ගැහුවත් කමක් නැහැ. අපේ ගම් පළාතටම මහා නව නින්දාවක්.

හැබැයි පොලිසිය නොඑන්න හැම එකාටම හොඳට නෙළනව ගමේ කොල්ලො ටික.

වසන්ත ඔහුට සමුදෙන්නට කඩිනම් වූයේ හිමය දෙසින් පහළට ගලනා කෝඩය පෙන්වමිනි.

"වනුමුරේ, කියන්නෙ මෙන්න මේ හරියට" වසන්ත කීවා.
තේ දලු ගෝනියක් ඉහේ තියාන පහළට බැහැපු කෙනෙක් ගෝනිය බිම තියලා අපේ ළඟට ආවා.

වසන්ත එයාට මාවත් අඳුන්වලා දෙන ගමන්ම ආපු කාරණය කිව්ව.

ඔන්න ඔය පාර දිගේම ගියහම මුදුනෙම තියෙන්නෙ ඔය කියන බංගලාව. ගමේ අය නම් ඔය බංගලාවෙ ලගින්න යන්නෙ නැහැ. පිටින් තමයි එන්නෙ. වත්ත අයිති මොරටුව පැත්තෙ කෙනකුට. මීට අවුරුදු 10කට විතර උඩදිත් ඔතැන ලොකු හාවක් හූවක් ගියා පල්ලියක් හදනවා කියලා.
ඒ වගේම මේ අහල පහළ ගම්මුන්ට මේක ආරංචිවෙලා ඇවිත් ලොකු ජංජාලයක් වෙන්න ගියේ. ඒක යටපත් වුණා වත්තෙ මහත්තුරු කොළඹින් ආවහම ඉන්න පෞද්ගලික බංගලාවක් හදනවා කියලා.

එදා ඔය කියන දවසෙත් කොල්ලො කෙල්ලො හතළිහකට වැඩිය ආවනෙ. එක සැරේට නොවෙයි කට්ටි කට්ටි තුන් හතර දෙනා මම හිතන්නෙ ටිපර් එකෙනුත් ඇද්දා.

එදා රෑ වෙද්දි රෑ වෙද්දි තමා වෙනද නැති වෙනසක් දැනුණේ. වෙනදාටත් ඔය වගේ එනවා. යනවා. සින්දු කියනවා කනවා බොනවා. නටනවා. පහුවදාට යනවා.

ලොකු අවුලක් තිබුණේ නැහැ. අපි ඔහුත් සමඟ කතා බහ කරමින් සිටින අතර අෑත සිට අපහසුවෙන් ඉහළට නඟිනා ත්‍රිරෝද රථයක් දැක්කෙමු.

ආ වේගයෙන්ම කන්ද මුදුනට නැඟුණු ත්‍රිරෝද රථයේ කාකි නිල ඇඳුම් ඇඳි දෙදෙනකු සිටිනු දුටුවත් ඔවුන් කවුරුන්දැයි හරි හැටි හඳුනා ගත නොහැකි විය.

ඔවුන් රැගත් ත්‍රිරෝද රථය වතු බංගලාවේ නතර වූ පසු කාකි නිල ඇඳුම් ඇඳි දෙදෙනකු බංගලාව දෙසට යනු බලා සිටි ගැමියා "මහත්තයා අදත් පොලිසිය ඇවිත් වගෙයි. මට නම් එන්න බැහැ. මහත්තයලා යන්න. බයවෙන්න එපා. මම බයිසිකලය බලාගන්නම්" කියා ඔහු කීවේය.

කාකි ඇඳුම් ඇඟලාගෙන හදිසියේම වතු බංගලාව පරීක්ෂාවට පැමිණ තිබුණේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකි.

හෝටලයේ භාරකරු සහ ඔවුන් අතර ඇතිවුණු කතාබහ කන වැටීමෙන් අපට වැටහී ගියේ එම නිවාඩු නිකේතනය කිසිම ලියාපදිංචියකින් හෝ ප්‍රමිතියකින් තොරව හිතුවක්කාරී ලෙස පවත්වාගෙන යන්නක් බවයි.
"මේ වත්තෙ මහත්තය ඉන්නෙ මොරටුව පැත්තෙ. වත්තයි බංගලාවයි බලාගන්නෙ මම. මේකෙ කාමර තුනක් තියනවා. ලොකු ශාලාවක් තියෙනවා. ඉඳල හිටලා කට්ටිය එනවා. එන්නෙ කොළඹින් බුක්කරලා.
ජෝඩු ජෝඩුත් එනවා. පවුල් පිටිනුත් එනවා. මඟට ඇවිත් වාහන මඟ දමලා ත්‍රීවීල්වලත් එනවා. සමහර විට මම ගිහිල්ලත් ගේනවා.

එතකොට ඔය සිද්ධිය වෙච්ච දවසේ ආපු කට්ටිය කොහොමද ආවේ.

වසන්ත එයාගෙන් ඇහුවේ හරියට විමර්ශනයක කොටස්කාරයෙක් විදියට.

ඒ ගොල්ලොත් ඒ වගේ තමයි. කොළඹින් බුක්කරලා ආවා. සෙනසුරාදා වරුවක් විතර යද්දි තමා කට්ටිය ටික ටික ආවේ. ත්‍රීවීල් බයික් එහෙම ආවා.

අර තවම අතන තියනවා බයික් එකක්. අයිතිකාරයා කවුද දන්නෙ නැහැ. ගෙනියන්න ආවෙත් නැහැ. දමල ගිය ගමන් එතැනමයි. ඔහු හෝටලය ඉදිරිපස නවතා තිබුණු යතුරුපැදියක් අපට පෙන්නුවේය.
කවුද ඒ අය අතර හිටියේ. කොහේ අයද?.

ඒක නම් අපි දන්නෙ නැහැ. රෑවෙනකම්ම ආවනේ. කොල්ලොයි කෙල්ලොයි හරි හරියට හිටිය. බඩදරු අම්මණ්ඩි කෙනකුත් ඒ අතර හිටියා.
උන් ඇවිදින් කරපු විකාර දැක්කාම තමයි අපටත් හිතාගන්න බැරි වුණේ ඇත්තටම මුන් කවුද මොනවද කරන්නෙ කියලා.
ආපු වේලේ ඉඳලාම කළේ නටපු එකයි. සින්දු කියපු එකයි.

කෑවෙ බිව්වෙ නැද්ද?
අපි හෝල් එක දුන්නට පස්සෙ මොකුත් හොයන්නෙ බලන්නෙ නැහැ. ඒ අයට නිදහසේ ඉන්න දෙනවා. මොනවා හරි ඉල්ලුවොත් දෙනවා, එච්චරයි.
රෑ මොකද වුණේ?

මොනව වෙන්නද? සද්දෙට සංගීතෙ තිබුණා. සින්දුනම් මොනවද කියලා තේරුණේ නැහැ. ඩක බොක ජුං ජුං ගෑවා මිසක.
සද්දෙට උන් ඔක්කොම නැටුවා. අපේ ලොක්කනං හොරෙන් හොරෙන් බැලුවා.

විළි සංගයක් ඇතිව බලා ඉන්න බැරි තරමයි.

මටම හිතාගන්න බැහැ මොන අම්මගෙ අප්පගෙ දරුවොද මෙහෙම දේවලට ඇබ්බැහි වෙලා තියෙන්නෙ කියලා.

ඒ අය මොනවහරි බිව්වද? අරක්කු වගේ දේවල්.

ඒක නම් කියන්න දැක්කෙ නැහැ. ඒත් වත්ත පුරාම තිබුණු හිස් බෝතල් අන්න අර පහළ ගොඩ ගහලා. හැබැයි ඒවා ලොකු බෝතල් නෙමෙයි කාලෙ බෝතල්.

ඒකෙන් පේන්නෙ මේ අපේ කොල්ලො කෙල්ලො එක කණ්ඩායමක් නොවෙයි ජෝඩු ජෝඩු සෙට්වෙලා තනි තනිව ආතල් ගන්න ආපු අය කියලා.
කුඩු, පෙති, ගංජා වගේ දේවල් ගැහුවද?

අපි ඒව දැක්කෙ නැහැ. ඒත් පොලිසිය ඇවිත් බලද්දී පෙති වගේම ගංජාත් තිබිලා හොයාගෙන තිබුණා. ඉතිං අපි නොදැක්කාට උන් ඒව බොන්න ඇති.

හැබැයි කෑවෙනම් එක වේලයි. ඒ පරිප්පුයි හාල්මැස්සොයි බතුයි.

උන් එකෙකුටවත් කෑමෙ සිහියක් තිබුණෙ නැහැ නැටුවා මිසක. නිදාගත්තාද කියලා කියන්න බැහැ. රෑ පුරාම නැඟිටගෙන හිටිය. සින්දු ඇහුණා.

ඉතිං වටේටම මූකළාන නිසා කාගෙවත් බාධාවක් වුණේ නැහැ.

එතකොට පොලිසිය කඩාපැන්නෙ කොහොමද? එහෙම වුණේ ඇයි? මම ඇහුවෙ මේ කතාව රටටම එළි වුණේ පොලිසිය ඇවිත් කට්ටිය අල්ලගත්ත නිසානෙ.

මම ඇහුවෙ කතාවෙ මුල - අග බේරුම් කරගන්න. අපි ඊළඟට ගියේ රත්නපුර පොලිසියට. රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා හමුවෙන්න.

"එදා උදේ පැමිණිලි විභාගයකට ගිය අපේ නිලධාරීන් දෙදෙනකුට ඔය කියන බංගලාවෙ සාදය ගැන ආරංචිය ලැබිල තිබුණා. මාවත් දැනුවත් කරලා තිබුණේ. ඒත් විශේෂ යමක් වාර්තා වෙලා තිබුණේ නැහැ.

සවස මාර්ග අනතුරක් වෙලා එතැනදී වෙච්ච ගැටුමකට පස්සෙ තමා මේ අය කවුද? ආවෙ කොහෙන්ද? මොනවද කළේ? කියන එක හොයල බැලුවෙ. මොකද ඒ වෙද්දි ගම්මු තරමක් කුපිතවෙලා කියලා මට ආරංචි වුණා.
අපි ආරංචිය ලැබුණු ගමන්ම සිරිපාගම පොලිසිය වේවැල්වත්ත පොලිසිය එහෙමත් සහභාගි කරගෙන වහාම එතැනට ගියා. ගම්මු සන්සුන් කරලා වත්තෙ තිබුණු ලොකු ආරවුලක් සංසි‍ෙ¼දව්වා.

ඒ වෙද්දි සාදයට ඇවිත් හිටපු හුඟ දෙනෙක් පිටවෙලා ගිහින්. ටික දෙනෙක් තමා හිටියෙ. ඔක්කොම අවුරුදු විසි ගණන්වල කොල්ලො කෙල්ලො.

අපි ඒ අයව පොලිසියට ගෙනාවෙ ඒ අයගෙ ආරක්ෂාවටමයි. එහෙම නැතිව ඒ රාත්‍රිය එතැන තිබ්බා නම් මොකෙන් මොක වෙයිද කියන්න බැහැ. එහෙම නොවුණා නම් මේ ප්‍රශ්නෙ තව හුඟක් දුර යනවා.

අර බලන්න ඒ අය ආපු එක වාහනයක් කුඩු පට්ටම් කරලා, වීදුරු බිඳලා ලොකු අලාභයක්.

එකක් තමයි මේ හිටපු එකකුට එකෙක් හරියට අනිකා ගැන කියන්න දන්නෙ නැහැ. අඳුරගත්තෙ මුහුණු පොතෙන්ලු. සරත් කියයි, රේණු කියයි. හරියට නමක් ගමක් දන්නෙ නැහැ.
මේකෙ කණ්ඩායම් නායකයෙක් හිටලා එයා තමා මෙහෙයවලා තියෙන්නෙ. ඒත් එයාව අපිට හමුවුණේ නැහැ.

අපි මේ අයගෙ ගමන් මලු පරීක්ෂා කරද්දි එක මල්ලක අයිස් කියන මත්පෙති මිලි ග්‍රෑම් 550ක් ඒ වගේම කේරළ ගංජා තව කෙනෙක් ළඟ තිබුණා.

අපි ඒ දෙන්නම අධිකරණයට ඉදිරිපත් කළා. එක්කෙනකුට රුපියල් 14,500කුත් අනෙක් එක්කෙනාට රුපියල් 5,000ක් දඩ ගැහුවා. අනෙක් අයව අවවාද කරලා පිටත් කළා.

මේ වගේ දේවලදී පොලිසියට කරන්න දෙයක් නැහැ. සමාජය විසින්, දරුවන්ගෙ මවුපියන් විසින් මෙවැනි දේවල් නොවෙන තැනට කටයුතු කළ යුතුයි.
මත්පෙති මත්ද්‍රව්‍ය ළඟ තියාගෙන හිටියොත් අලෙවි කළොත් අපට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.

අපි හැමෝගෙම වගකීම වෙන්නෙ සමාජය අද මේ වගේ තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ ඇයි කියන එක හොයලා පිළියම් යොදන එක."

එහෙත් අපට දැනුණේ එම සාදයට එක්ව සිටි අයට හෝ සංවිධායකයන්ට හෝ ඔවුනට යටිතල පහසුකම් සැපයූවන්ට හෝ එවැනි සිද්ධියක බරපතළ කමක් දැනී නොමැති බවය.

ෆේස්බුක්කාරයෝ රටපුරාම මෙවැනි අවලං සාද සංවිධානය කරති. ඔවුන් හෝටල්, ලැගුම්හල්, ගමන් පහසුකම් සලසාදී මඩි තරකර ගනිති.

ජොලියට, සොමියට, අමන පදමට පෙති බොති. කුඩු බොති. මදි පාඩුවට අරක්කුද බොති.

අවසානය කුමක් විය හැකිද?

- ධර්මප්‍රිය ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon