කෝටි 1700ක් රටට අහිමි කළ දේශපාලන බලවතාගේ සුපිරි වාහන සෙල්ලම

  👤  3495 readers have read this article !
By mawbima 2018-10-21

රජයේ මැති ඇමැතිවරුන්ගේ රෙදි ගලවමින් අනාවරණය වූ මෙරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් වාර්තා වූ අර්ජුන මහේන්ද්‍රන් - අර්ජුන් ඇලෝසියස්ලාගේ මහා පරිමාණ මහ බැංකු - බැඳුම්කර මහා වංචාවෙන් මේ රටේ ජනතාවට (රජයට) අහිමි වූ රුපියල් කෝටි 1200ක සුවිශාලතම රාජ්‍ය මුදල් කොල්ලය පරයා යමින් යහපාලන මුල් යුගයේ රජයේම ප්‍රබල ඇමැතිවරයකුගේ අනුග්‍රහයෙන් සිදුව ඇතැයි කියන මහජන මුදල් රුපියල් කෝටි 1700ක මහා පරිමාණ තීරුබදු වංචාවක් ගැන තොරතුරු රාශියක් මේ වන විට අනාවරණය වී ඇත.

මහ බැංකු මහා බැඳුම්කර වංචාව තුළින් ඇලෝසියස්ලා අර්ජුනලා රජයේ ප්‍රබලයන්ගේ පූර්ණ ආශීර්වාදය මැද්දේ සිදු කරන ලද මහා පරිමාණ මහජන මුදල් කොල්ලය ඉක්මවා යමින් සිදුකොට ඇති මෙම සුපිරි තීරුබදු වංචාව ක්‍රියාත්මකව ඇත්තේද රජයේ ප්‍රබලතම මැති ඇමැතිවරුන්ට හා ඊටත් එහාගිය දේශපාලන බලවතුන්ගේ සුපිරි මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ටත් සුවපහසුව සැලසීම සඳහා සුපිරිතම මට්ටමේ අති සුඛෝපභෝගී සියලු පහසුකම් සහිත 'බී.එම්.ඩබ්ලිව්.' වර්ගයේ සුපිරි මෝටර් රථ 1675ක් මෙරටට ආනයනය කිරීමේදී වීම විශේෂත්වයකි.

යහපාලන මුල් අවදියේ රජයේ ප්‍රබලතම ඇමැතිවරයකුගේ ආශීර්වාදය මැද්දේ රේගුවේ ඉහළම පෙළේ නිලධාරියකුගේ නොමඳ සහයෝගයෙන් සිදුකොට ඇති මෙම මහා පරිමාණ තීරුබදු වංචාව තුළින් රජයට අහිමිකොට ඇති මහජන මුදල් කන්දරාව දළ වශයෙන් රුපියල්වලින් නම් බිලියන 17ක් හෙවත් රුපියල් කෝටි 1700ක් ඉක්මවන බවත්, ඇමෙරිකානු ඩොලර්වලින් නම් ඩොලර් මිලියන 120ක් පමණ වන බවත් ගණනය කොට ඇත.
රට ගැනත් මහජනතාව ගැනත් හැඟීමක් ඇති රේගුවේ රාජකාරි කළ නිලධාරියකු විසින් මෙම මහා පරිමාණ තීරුබදු වංචාව ගැන ප්‍රථම වරට කරුණු අනාවරණය කරනු ලැබ ඇති අතර ඉන් කලබලයට පත් රේගුවේ ඉහළම නිලධාරියකු වැඩේ දුරදිග යන්නට ඉඩ නොතබා ගොඩින්ම බේරා දැමීමට යුහුසුලු වී ඇති බවද අනාවරණය වෙයි.

තීරුබදු රහිතව මෝටර් රථ ආනයනය කිරීමේදී රේගු ආඥාපනතේ ප්‍රකාශිතවම සඳහන් කොට ඇති ප්‍රතිපාදන ප්‍රකාරවත්, තීරුබදු සහන සැලසීම පිළිබඳ නිකුත් කොට ඇති 2012/11/09, 2012/02/13 දිනැතිව අංක 01(2) 2010 ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය හා වාණිජ ගනුදෙනු පිළිබඳ නිකුත් කොට ඇති 2010/12/24 දිනැති චක්‍රලේඛය මඟින් සංශෝධිත 2010/12/10 දිනැති අංක 01/2010 දරන තීරුබදු සහන පිළිබඳ චක්‍රලේඛය ප්‍රකාරවත් 'තීරුබදු සහනය' ලබාදිය හැක්කේ මෙරටට ආනයනය කරනු ලබන ඇමෙරිකානු ඩොලර් 25,000න් 30,000ත් අතර වටිනාකම සහිත මෝටර් රථවලට පමණක් වන අතර ඒ බව තීරුබදු සහන අයැදුම් කිරීමේදී ඉදිරිපත් කරනු ලබන අයැදුම් පතෙහිද පැහැදිලිවම මුද්‍රිතවම සටහන් කොට ඇත.

ඊට අමතරව යම් අවස්ථාවකදී එකී අගය ඉක්මවූ මෝටර් රථයක් ආනයනකරුවකු විසින් මෙරටට ආනයනය කරනු ලැබුවහොත් ඔහුට ලබාදෙන ලද තීරුබදු සහනය සහමුලින්ම ඉවත් කොට එම රථයේ වටිනාකමට අදාළ පූර්ණ තීරුබදු මුදල අයකිරීමට එම අවස්ථාවේදීම පියවර ගැනීමට එකී අණපනත් හා චක්‍රලේඛ ප්‍රකාරව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට පූර්ණ බලතල ඇති බවද එහෙත් එලෙස නීතිය ක්‍රියාත්මක නොකොට රේගු අධ්‍යක්‍ෂවරයකු ලවා පරීක්‍ෂණයක් ආරම්භ කොට කල් මැරීමටත් අවසානයේ එම සිද්ධිය යට ගැසීමටත් ක්‍රියාකොට ඇති බවද අනාවරණය වෙයි.

මෙම පරීක්ෂණය සඳහා පී. සමන් ද සිල්වා නමැති අධ්‍යක්‍ෂවරයා පත්කොට ඇති අතර ඛ්ධ්ඕ/ධ්ව්ඍ/32 වශයෙන් වූ පරීක්‍ෂණය 2016 මාර්තු මස 12 වැනි දින ආරම්භ කොට පුරා වසරකටත් වැඩි දීර්ඝ කාලයක් තිස්සේ ඇදගෙන ගොස් ඒ කාලපරාසය තුළ පරීක්‍ෂණ වාර 50ක් පමණ පවත්වා ඇති බවත් වැඩිදුරටත් අනාවරණය වෙයි.

මේ අතරතුර මෙම මහා පරිමාණ රේගු වංචාව පිළිබඳ තොරතුරු අධිකරණය වෙත යොමුකර ඇති බවත් පැවැත්වෙමින් ඇති පරීක්ෂණය නතර කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බවත් සැලවීමත් සමඟම කලබලයට පත් රේගු බලධාරීන් පරීක්‍ෂණය වහා නිමකොට ඊළඟ නඩු දිනයට සතියක් තිබියදී එහි නිගමනය ප්‍රකාශයට පත්කරමින් චූදිත පක්ෂයට එක් මෝටර් රථයකට රුපියල් ලක්‍ෂයක් බැගින් වූ දඩයක් නියම කොට ඇති බවද හෙළිදරව් විය.

ඒ අනුව 2017 ජූලි මස 14 වැනි දින බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් කටයුතු කරන ප්‍රෙස්ටිජ් ඉන්ටර්නැෂනල් සමාගමට එම දඩය නියම කොට ඇත.
මේ අතර මෙම සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු අලුතින් රේගුවට පත්ව ආ රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියට වාර්තාවීමත් සමඟ ඇය එකී පරීක්‍ෂණය සහමුලින්ම අවලංගු කොට අලුත් පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට තීරණය කොට ඇත.

පරීක්‍ෂණයේදී නියම කොට ඇති දඩය වූයේ රුපියල් එකොළොස් කෝටි හැත්තෑ හත් ලක්‍ෂයක් (117,700,000.00කි).

මෙම වංචාව මගින් රටට හා ජනතාවට අහිමි කළ මහා ධන සම්භාරය වූ රුපියල් කෝටි 1700 (රු. 17,000,000,000.00)ට සාපේක්‍ෂව එම මුදලින් 15න් පංගුවක් පමණ වූ සුළු මුදල් ප්‍රමාණයක් වූ රුපියල් කෝටි 117කින් සිද්ධිය කාලයේ වැලි තලාවෙන් වසා දමන්නට ගත් තැත ව්‍යර්ථ කිරීමට හැකිවීම රටේත් මහජනතාවගේත් වාසනාවක් විය.

සත්‍ය වශයෙන් මෙම මහා පරිමාණ රේගු බදු වංචාව පිටුපස රජයට සම්බන්ධ ප්‍රබල දේශපාලනඥයකු සිටින බවත් ඒ හේතුවෙන් මෙලෙස එම සිද්ධිය යට ගැසීම සඳහා බලධාරීන් ක්‍රියා කරන බවත් ඊට හොඳම නිදසුන වන්නේ අධිකරණයෙන් පෙත්සම්කරු විසින් ඉල්ලා සිටින ලද ඉහත ව්‍යාජ පරීක්‍ෂණය අත්හිටුවීමේ අතුරු නියෝගය නික්තු කිරීමට ජූලි මස 21 වැනි දිනට දින නියම කර තිබියදී පරීක්‍ෂණ වාර්තාව ඊට දින 07කට පෙර ජූලි 14 දින නිකුත් කිරීම බවත් පැහැදිලිය.

මේ රටේ එතෙක් මෙතෙක් සිදු කරන ලද අති විශාල මහා පරිමාණ මූල්‍ය වංචාව ලෙස ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් මඟින් තහවුරු කළ ඇලෝසියස් - මහේන්ද්‍රන් බැඳුම්කර වංචාවෙන් රටට අහිමි කළ ධනස්කන්ධය රුපියල් කෝටි 1200ක් වුවද මෙම මහා පරිමාණ වංචාව එයද ඉක්මවා ගිය රුපියල් කෝටි 1700ක් වී තිබියදීත් මෙලෙස බලධාරීන්ගේ යටි කූට්ටු ක්‍රියා මාර්ග ඔස්සේ එය යට ගැසීමට ඉඩ තැබුව හොත් එය මේ රටේ මහජනතාවට සිදුකරන බරපතළ අපරාධයක් බැවින් 'මව්බිම' හරහා මෙය හෙළිදරව් කිරීමට පෙළ ගැසුණෙමි.

"වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව?" යන කියමන සාක්ෂාත් කරමින් රේගුව රකින්නට සිටින තීරුබදු වංචා වළකන්නට සිටින, රේගුවේ ඇතැම් බලධාරීන් හා එක්ව රටත් රටේ ජනතාවත් ජනතාවගේ දේපළත් රකින්නට යැයි කියා බලයට පත්වූ රජයේම ප්‍රබලයන් මෙලෙස රුපියල් කෝටි දහස් ගණන් මහජන මුදල් කිසිදු ලැජ්ජාවක් බයක් නොමැතිව කොල්ලකෑමය.

මෙහිදී සඳහන් නොකර සිටිය නොහැකි විශේෂතම කරුණක්ද ඇත. ඒ අනෙකක් නොව මේ මහා පරිමාණ තීරුබදු කොල්ලය යටගැසීම සඳහා එය සිදුකළ අයම පවත්වන ලද පරීක්ෂණත් එහි වාර්තාවත් අවලංගු කිරීමට පියවරගත් රේගුවට අලුතින් පත්ව සිටින පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ අවංක හා එඩිතර ක්‍රියාමාර්ගය ගැනය.

ඒ සමඟම තවත් සඳහන් කළ යුත්තක් වනුයේ ප්‍රබල සමාජ ක්‍රියාකාරියකු ලෙස නිර්භීතව ඉදිරිපත් වෙමින් මෙවන් දේශද්‍රෝහී ක්‍රියාවන් පිළිබඳව මැදිහත් වෙමින් ඊට එරෙහිව සමාජය තුළත් අධිකරණය හමුවේත් එඩිතරව කරුණු හෙළි කරන මෙරට මෙන්ම එක්සත් රාජධානියේද නීතිඥවරයකු වශයෙන් කටයුතුකරන නාගානන්ද කොඩිතුවක්කු මහතා පිළිබඳවය.

තවද අප අමතක නොකළයුතු කරුණක්ව ඇත්තේ මෙම මහා පරිමාණ තීරු බදු මග¾ඩිය' හරහා මේ රටේ මහජනතාවගේ මුදල් රුපියල් කෝටි 1,700ක් කොල්ල කෑම සිදුකරන්නේද රටේ මහජනතාවට හිමි විය යුතු තීරුබදු මුදල් රුපියල් කෝටි ගණනක් අහිමි කරමින් රජයේ ඇතැම් මැති ඇමැතීන් හා ඊටත් එහා ගිය රජයේ ප්‍රබල පුද්ගලයන්ට හා ඔවුන්ගේ ආශීර්වාදය ලබන ඔවුන්ගේ මෙවන් ක්‍රියාවන්ට පූර්ණ අනුග්‍රහය මෙන්ම අනු බලයද නොඅඩුව ලබාදෙන රාජ්‍ය නිලධාරීන්ටද ලබාදෙන තීරුබදු සහනය යටතේම මෙරටට ආනයනය කරනු ලැබූ සුපිරි මෝටර් රථ ගනුදෙනුව තුළදී බවය.

මෙකී මහා පරිමාණ තීරුබදු කොල්ලය තහවුරු කිරීම සඳහා අප සතුව ඇති බොහෝ තොරතුරු අතර ඇති ජර්මනියේ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ නිෂ්පාදනය සමාගම විසින් ශ්‍රී ලංකාවේ රේගුවෙහි අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත එවන ලද 2017 පෙබරවාරි මස 24 වැනි දිනැති ලිපිය මඟින් වඩාත් පැහැදිලි ලෙසම මෙම කූට ක්‍රියාකලාපය ඔප්පු කොට ඇත.

එනම් මෙකී අති සුබෝපභෝගී මෝටර් රථ 1,675 සමාගම විසින් එකී රථවල නියම මිලටම ඉන්වොයිසි ගතකොට ශ්‍රී ලංකාවේ බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ ආනයනය කරනු ලබන එකම සමාගම වන බත්තරමුල්ලේ පන්නිපිටිය පාරේ පිහිටි සීමාසහිත ප්‍රෙස්ටිජ් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගමට අපනයනය කරන ලද බව එහි තහවුරුකොට ඇත.

එම ලිපියෙන් තවදුරටත් තහවුරු කොට ඇත්තේ එකී නියමිත වටිනාකම අනුව ඉන්වොයිසිවල සඳහන් මුදල්ද තම සමාගම ලබා ගත් බවය.

මෙම මෝටර් රථ 1,675 නිදහස්කර ගැනීමේදී රේගුවට ඉදිරිපත් කොට ඇත්තේ 'බී.එම්.ඩබ්ලිව්.' සමාගම විසින් නිකුත් කරන ලද ඉන්වොයිසි නොව 'නැවිගෙයාර්' (ව්ඒඍධ්ට්ඒඅඡ්) ඉන්ටර් නැෂනල් නම් සමාගමක් විසින් නිකුත් කරන ලද ඉන්වොයිසි බවත් ඒවායෙහි සඳහන්ව ඇත්තේ එකී වාහනය සඳහා 'බී.එම්.ඩබ්ලිව්.' සමාගම සඳහන් කළ එමෙන්ම එම සමාගමට ගෙවනු ලැබ ඇති මිල නොව ඊට ඉතාමත්ම අඩු මිල ගණන්ය.

මෙම කූට ලේඛන භාවිත කරමින් එකී මෝටර් රථ 1,675 සඳහා රේගුවට ප්‍රකාශ කොට ඇත්තේ, රේගු ආඥාපනත යටතේ නිකුත්ව ඇති බලාත්මක චක්‍රලේඛ ප්‍රකාරවත් තීරුබදු සහන ලබාදිය හැකි සීමාවන්ට අයත් ඇමෙරිකානු ඩොලර් 25,000ත් 30,000ත් අතර වටිනාකමකින් යුතු මෝටර් රථ බවය.

මෝටර් රථ එකක් - දෙකක්, සියයක් - දෙසියයක් නොව එක්දහස් හයසිය හැත්තෑ පහක්ම (1,675ක්ම) මේ ආකාරයෙන් රේගුවේ ඇස වසා මෙරට තුළට රැගෙන එන්නට රේගු බලධාරීන්ගේ හා රජයේ ප්‍රබලයන්ගේ අනුග්‍රහය නොලැබුණා නම් එවැන්නක් සිදු කළ හැක්කේ ඉන්ද්‍රජාලිකයකුට මිස අනෙකකුට නොවන බව පැහැදිලිය.

අවසන් වශයෙන් සඳහන් කළයුතුව ඇත්තේ මහජනතාවගේ ඡන්දයෙන්ම බලයට පත්ව ඔවුන්ගේ කරපිටින් මැති ඇමැති තනතුරු ලබාගත් යහපාලන රජයේ මේ 'මහත්' (වරුන්) මෙලෙස මහජනතාවගේම පල ප්‍රයෝජනය සඳහා මහජනතාවගෙන්ම එක්රැස්කරන්නාවූ බදු මුදල් කාබාසිනියා කරනවා මදිවාට මේ ආකාරයෙන් 'බැඳුම්කර මගඩි' 'රේගු මගඩි' හරහා රුපියල් කෝටි දහස් ගණන් ගසා කන්නේ නම් මහජනතාවට කාගේ පිහිටක්ද යන්නය.

කමල් මහේන්ද්‍ර වීරරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon