රනිල්-රාහුල් හමුවෙති

  👤  2649 readers have read this article !
By mawbima 2018-10-21

පහන් විජේසේකර

ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජාතික කොංග්‍රසයේ... සභාපති රාහුල් ගාන්ධි මහතා අතර පැවැති සාකච්ඡාවේදී ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම පිළිබඳව අවධානය යොමුව තිබේ.

පෙරේදා (19දා) නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ පැවැති එම සාකච්ඡාවට කොංග්‍රසය නියෝජනය කරමින් ආචාර්ය මන්මෝහන් සිං, සෝනියා ගාන්ධි සහ ආනන්ද ෂර්මා යන මහත්, මහත්මීහුද එක් වූ අතර කලාපීය ආර්ථික හා දේශපාලන ප්‍රවණතා පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමාජ
සුබ සාධන වැඩසටහන් පිළිබඳව කරුණු දැන ගැනීමට එහිදී කොංග්‍රස් නියෝජිතයෝ උනන්දු වුණැයිද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

එසේම අනාගත ආසියාවේ හැඩතල සහ ප්‍රබලත්වය සම්බන්ධයෙන්ද අන්තවාදය දුරු කරලීමේ අවශ්‍යතාව පිළිබඳවද එහිදී කරුණු සාකච්ඡා කොට තිබේ.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වන ලෙස අගමැති වික්‍රමසිංහ මහතා රාහුල් ගාන්ධි ප්‍රධාන කොංග්‍රස් නියෝජිතයන්ට ආරාධනා කර ඇති අතර ඔවුන් එම ආරාධනය ස්තුති පූර්වකව පිළිගෙන තිබෙන බව අගමැති කාර්යාලය සඳහන් කරයි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙටිටි යන මහත්ම මහත්මීහුද ඒ අවස්ථාවට එක්ව ඇත.

මේ අතර නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහත්වරුන්ගේ ද්විපාර්ශ්වික සාකච්ඡාවක්ද ඊයේ දින (20දා) පවත්වා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon