මවගේ වියෝවෙන් සිත් තැවුලට පත් 62 හැවිරිදි අවිවාහක පුතා වස බී දිවි තොර කරගෙන

  👤  2843 readers have read this article !
By mawbima 2018-10-22

කොබෙයිගනේ - ධර්මසේන රණසිංහ

තම මවගේ වියෝවෙන් කලකිරීමට හා සිත්තැවුලට පත් 62 හැවිරිදි අවිවාහක පුතෙක් මවගේ සිරුර මිහිදන් කළ දිනයේදීම (19දා) රාත්‍රි වස පානය කර සිය නිවෙසේ මිදුලේ වැටී මියගොස් සිටියදී පෙරේදා (20දා) උදෑසන සොයාගත් බව නිකවැරටිය පොලිසිය පැවසීය.

මෙලෙස මියගොස් ඇත්තේ නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයේ කැබැල්ලෑව පදිංචිව සිටි ඩබ්ලිව්. ෂෙල්ටන් පීටර් ප්‍රනාන්දු නමැත්තෙකි. මියගිය අය වෙනම නිවෙසක් තනාගෙන ගොවිතැන් කරමින් මවගේ අවශ්‍යතාවන් ගැන සොයාබලා ජීවත්වී ඇති අතර දරුවන් නව දෙනෙකුගෙන් යුත් මව ළඟ 74 හා 72 යන අවිවාහක අක්කා හා අයියාද ජීවත් වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


වසර 100ක් පමණ ආයු ගෙවූ මව මිය යෑමෙන් පසු අවසන් කටයුතු සඳහා කැපවීමෙන් කටයුතු කළ මියගිය පුතා 19 දින පස්වරුවේ නිකවැරටිය රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී මවගේ සිරුර භූමදානය කිරීමෙන් පසු කනස්සල්ලෙන් සිටි බව අනාවරණය වේ.

නිකවැරටිය රෝහලේ 20 වැනි දින පැවති මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ සහෝදරිය වන ලිලියන් ප්‍රනාන්දු (54) මහත්මිය සාක්ෂි දෙමින් ඉකුත් 19 වැනි දින මවගේ සිරුර භූමිදානය කර නිවසට පැමිණි අයියාට රාත්‍රි 9.00ට පමණ ආහාර ගැනීමට කථා කළ බවද, කන්න බෑ කියා අඬමින් සිට ඔහුගේ නිවෙසට ගිය බවද, පවසා සිටියාය.

එසේ ගිය පීටර් අයියා වස පානය කර ඔහුගේ නිවෙස අසල මිදුලේ වැටී මියගොස් සිටියදී 20 වැනි දින උදේ හමුවූ බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

නිකවැරටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සුසන්ත රත්නායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු කෘෂිරසායන පානය කිරීමෙන් මරණය සිදුවී ඇති බවට තීරණය කර තිබිණි.

නිකවැරටිය පොලිසියේ ප්‍රධාන පොලිස් ස්ථානාධිපති ජීවහස්ත ඒ. සිරිසේන මහතාගේ උපදෙස් අනුව පොලිස් කොස්තාපල් රත්නායක (74916) මහතා පරීක්ෂණ සිදු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon