නීති විරෝධී ගිනි අවි සමඟ ඇල්ලූ මාවනැල්ල ශ්‍රී ලනිප සම සංවිධායක නොවැම්බර් 2දා තෙක් රිමාන්ඩ්

  👤  2742 readers have read this article !
By mawbima 2018-10-22

දමුණුපොළ - චමින්ද ජයලත් කෑගල්ල - බණ්ඩාර මද්දුමගේ

නීති විරෝධී ලෙස ගිනි අවි තුනක් හා ජීව උණ්ඩ 122ක් ළඟ තබාගෙන සිටි මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සම සංවිධායකවරයා ඉකුත් 19දා කෑගල්ල මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 2දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සම සංවිධායක හිටපු සබරගමුව පළාත් සභානායක හා වර්තමානයේ කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රි කෑගල්ල අෑෂ්ලි පීරිස් මාවතේ පදිංචි මොහොමඩ් ඉමිටියාස් කාදර් නමැති 44 හැවිරිදි පුද්ගලයෙකි.

රාජගිරිය බුද්ධි කොට්ඨාසයේ පොලිස් විශේෂ බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය මහතාට ලැබුණු තොරතුරකට අනුව හා රඹුක්කන නාරම්බැද්ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව මෙම සැකකරු හා ගිනි අවි ජීවඋණ්ඩ ඉකුත් 18දා පෙරවරුවේ කෑගල්ල නිවෙසේදී අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගෙන ඇති භාණ්ඩ අතර එම්.පී. 5 වර්ගයේ කෙටි දුර වෙඩි තැබිය හැකි ගිනි අවියක් ඇඳ යට සඟවාගෙන තිබියදීද අනෙක් ගිනි අවි දෙක හා ජීව උණ්ඩ 122ක් නිවෙසේ අල්මාරියක සඟවා තිබී සොයාගෙන තිබිණි. පසුව සැකකරු හා භාණ්ඩ කොළඹට රැගෙන ගොස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදී ඇත.

මේ පිළිබඳව සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබුණේ එම්.පී. 5 වර්ගයේ ගිනි අවිය ඩුබායි රටෙන් මිතුරකුට ලක්ෂ 4ක් ගෙවා මිලදී ගත් බවත් සෙසු ගිනි අවි දෙක ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුට රු. ලක්ෂ 4ක් ගෙවා මිලට ගත් බවත්ය.

කෙටි දුර වෙඩි තැබිය හැකි එම්.පී. 5 වර්ගයේ ගිවි අවිය ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදා ගන්නා නවතම ගිනි අවියක් බවත් එම ගිනි අවිය පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහාද ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් බවත් අනාවරණය විය.

මෙම ගිනි අවි හා ජීව උණ්ඩ විනෝදාංශයක් ලෙස රැස්කර ළඟ තබා ගත් බවත් මීට වසර දෙකකට පමණ පෙර ගෙනා බවත් සංවිධායකවරයා පොලිසියට ප්‍රකාශ කර තිබිණි. පසුව කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාස මඟින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී සැකකරු නොවැම්බර් 2දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.

මෙම සැකකරු 2000 අගෝස්තු 25දා ජීප් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේදී ගිනි අවිවලින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීම හා මිනී මැරුමකට තැත් කිරීම යන චෝදනා යටතේ සැකකරු ඇතුළු පුද්ගලයන් 6 දෙනකුට කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබිණි. පසුව එම නඩුව නීතිපතිවරයා වෙත යොමු කොට අධිචෝදනා ගොනු කර කෑගල්ල මහාධිකරණය වෙත පසුව යොමු කොට තිබිණි. 2014 ජූලි මස 1දා මහාධිකරණයෙන් මෙම සැකකරු හා සෙසු පස්දෙනා නි‍ෙදාස් කොට නිදහස් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon