මහ මඟදී අනතුරකට ලක්වූ පිරිසක් දැක ගිය ගමන පැත්තකට දමා මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ තුවාලකරුවනුත් අරන් රෝහලට ගිහින්

  👤  3124 readers have read this article !
By mawbima 2018-10-22

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

අනුරාධපුර පාදෙණිය රාජධානි පිවිසුමේ සිදුවූ දරුණු රිය අනතුරකින් බරපතළ තුවාල ලබා සිටි අඹුසැමි යුවළක් රෝහල් ගත කිරීමට කිසිවකු ඉදිරිපත් නොවූ අවස්ථාවේ කොළඹ සිට අනුරාධපුර නගරයට පැමිණෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ ඔවුන් දෙදෙනාව ජීප් රථයේ දමාගෙන විත් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කිරීමේ පුවතක් පෙරේදා (20දා) වාර්තා විය.

අනුරාධපුර පාදෙණිය රාජධානි පිවිසුම් මාර්ගයේ මොරගොඩ තුරුලිය සෙවණ ආසන්නයේදී යතුරුපැදියේ පැමිණි යුවළ මෝටර් රථයක හැපීමෙන් අනතුරට ලක්වී බරපතළ තුවාල ලබා තිබේ.

අනතුරු දුටු වහාම එම ස්ථානයට රැස්වූ අසල්වාසීන් ඔවුන්ව මාර්ගය අයිනේ තබාගෙන රෝහල කරා කඩිනමින් රැගෙන යෑමට මාර්ගයේ ගමන් කළ කිසියම් රථයක් නවතා ගැනීමට උත්සාහ කළත් ලේ ගලන තුවාල සහිතව වේදනාවෙන් සිටි යුවළ දුටු රථ වාහනවල ගමන් කළ පුද්ගලයන් පැමිණි වේගයටත් වඩා වේගයෙන් එම ස්ථානය පසුකර තිබේ.

අනතුර සිදුවී විනාඩි පහත් දහයත් අතර කාලයේදී ඉන්ටකූලර් වර්ගයේ ජීප් රථයක් තලාව දෙස සිට අනුරාධපුර නගරය දෙසට ධාවනය වී ඇති අතර එහි ගමන් කළ පුද්ගලයා අනතුර වූ ස්ථානය ආසන්නයේදී සිදුවී ඇත්තේ කුමක්දැයි විපරමින් බලද්දී රිය අනතුරකට ලක්වී පාදවලට බරපතළ තුවාල සිදුවී ලේ ගලමින් වේදනාවෙන් සිටි යුවළක් සිටින අයුරු දැක ජීප් රථය මාර්ගය අයිනේ නවතා වහාම එම ස්ථානයට පැමිණ තිබේ.

තනිවම ජීප් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා බව එම ස්ථානයේ සිටි බොහෝ දෙනකු විසින් හඳුනාගෙන තිබූ අතර 'ඉක්මනින් මේ දෙන්නව මගේ වාහනයට දාගන්න මට උදවු කරන්න' යනුවෙන් ඒ මහතා රැස්ව සිටි පිරිසට පවසා තිබිණි. අසල්වාසීන් විසින් වහාම තුවාල ලබා සිටි දෙදෙනාව ජීප් රථයට නංවා තිබූ අතර මන්ත්‍රිවරයා ඔවුන් දෙදෙනාව හා යතුරුපැදිය අනතුරට ලක්කළ මෝටර් රථයේ රියැදුරාත් රැගෙන අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ තිබිණි.

කාන්තාවගේ පාදවලට බරපතළ තුවාල සිදුවී තිබූ අතර ඇගේ සැමියාගේ පාදයේ ඇඟිලි දෙකක් කැඩී පාදයෙන් වෙන්වී ගැලූ ලෙයින් මන්ත්‍රිවරයාගේ ජීප් රථයේ ආසන නැහැවී තිබූ අතර ඔහුට කොතරම් රාජකාරී කටයුතු තිබුණත් තුවාලකරුවන් දෙදෙනා රෝහල් ගතකර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල් පොලිසියට දැනුම් දීමටත් කටයුතු කර තිබිණි.

"මම අනුරාධපුරයට ආවේ වැඩ ගොඩකට නමුත් මනුස්සයෙක් තුවාල වෙලා ලේ ගල ගල පාරේ ඉද්දි මම කොහොමද අහක බලාගෙන යන්නේ" යනුවෙන් මන්ත්‍රිවරයා තුවාලකරුවන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව පවසා තිබිණි.

තුවාල ලැබූවන් කාගේ කවුරුන්ද යන්න අනාවරණය කරගෙන ඔවුන් අනතුරට ලක්වී ඇති බව පවුලේ ඥාතීන්ට දැන්වීමට අනුරාධපුර මහ නගර සභාවේ උප නගරාධිපති එම්.ඩබ්ලිව්. ප්‍රේමදාස මහතා කටයුතු කර තිබූ අතර අනතුර වූ ස්ථානයේ පාදයෙන් වෙන්වී ගිය ඇඟිලි දෙකක් සොයා එය රෝහලට භාරදීමට ගුවන් හමුදා සෙබළකු කටයුතු කර තිබූ බව අනාවරණය විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon