කාලගුණික-දේශගුණික මුහුණදීමට මෙහෙයුම් කමිටුවක් පිහිටුවනවා

  👤  2731 readers have read this article !
By mawbima 2018-10-22

වර්තමානයේ කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් හමුවේ අභියෝගවලට මුහුණ දීම සඳහා වාරිමාර්ග ක්ෂේත්‍රයේ මෙහෙයුම් කමිටුවක් පත් කරන ලෙසට තමා උපදෙස් ලබාදී තිබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

හෙතෙම මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ වාර්ෂික සම්මේලනය පසුගියදා (17දා) කොළඹදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

'තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ සැලසුම් සහ අභියෝග' මැයෙන් ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනය, දකුණු සහ මධ්‍යම ආසියානු ඉන්ජිනේරු සංගමය එක්ව මේ වාර්ෂික සම්මේලනය කර තිබිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද කීය.

අපේ රටේ ඉන්ජිනේරුවන් ගැන කතා කරද්දී අනෙකුත් රටවල වගේම මානව සමාජයේ පුළුල් පරිවර්තනයක් කිරීමට දක්වන ලද දායකත්වය අතීතයේ සිටම විශිෂ්ටයි. අපේ රට වශයෙන් ගත්තොත් එය වසර දහස් ගණනක කතාවක්. පෙර රජ දවසේ සිට අද දක්වාත් හෙට දවස වෙනුවෙන් ඔබ කරන කාර්යභාරය ඉතාමත් උසස්.

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට ශක්තියක් දුන් අම්පාර සේනානායක සමුද්‍රයේ ඉදිකිරීම් කටයුතුවල වගකීම භාරගත් කෙනඩි මහත්තයා ගැන, ඒ වගේම පරාක්‍රම සමුද්‍රය නැවත ගොඩනඟන්න සහාය දුන්න ඉස්මයිල් මහත්තයා ගැන, මෑත භාගයේ ඉන්ජිනේරු විමලසුරේන්ද්‍ර මහත්තයා ගැන, ඒ වගේම මොරගහකන්ද මහ ජලාශය ආරම්භ කිරීමේ මූලික මඟපෙන්වීම සිදු කළ ආචාර්ය කුලසිංහ වගේ අය ගැන අපිට අභිමානයෙන් කතා කරන්න පුළුවන්.

අද ඉන්ජිනේරුවරයාටත්, දේශපාලනඥයාටත්, අනෙකුත් විද්වතුන්ටත් මුහුණදීමට තිබෙන අභියෝග ශ්‍රී ලංකාව වගේම මේ කලාපයේ රටවල් තුළ එක හා සමාන මුහුණුවරක් ගන්නවා. 2016 පැරිස්වල තිබූ එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස පිළිබඳ විශේෂ සමුළුවට මා සහභාගි වුණා. ඒ ප්‍රඥප්තියට අස්සන් කරපු මුල් රටවල් 25 අතරට එක් වුණු රටක් අපි. ලෝකයේ ලොකු මහත්තුරු ලොකුවට කතාකරන අය ඒ සමුළුවෙන් ඉවත් වුණා. අපි වගේ පුංචි රටවල් ලොකු මහත්වරුන්ගේ රටවල කරන පාරිසරික විනාශය බේරගන්න ඉස්සරහට ඇවිත් ඉන්නවා.

ඒ නිසා මේ අභියෝග මාත් දන්නවා. ගෙවී ගිය දශකය සහ ඉදිරි දශකය දේශපාලනඥයන්, රාජ්‍ය නායකයන් සහ විද්වතුන්ගේ කතාබහවල වැඩිපුර තිබෙන වචනය තිරසර සංවර්ධන ඉලක්ක. ලෝකයේ පරිසරය විනාශ කරන දේශපාලනඥයන්ටත්, භෞතික සම්පත් සංවර්ධනයට නව තාක්ෂණයත් සමඟ නායකත්වය දුන් විද්වතුන්ටත් පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම තේරුම් ගියේ පසුගිය දශකයේ.

ඒ තුළ අපේ රට ඇතුළු මේ කලාපයත් ලෝකයේ බොහෝ රටවලුත් එක හා සමාන අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. කාලගුණික හා දේශගුණික විපර්යාස නිසා ඇතිවන අභියෝගවලදී ඊට පසුපසින් දුගීභාවය වැඩිවෙනවා. ගෙවී ගිය අවුරුදු පහට ලංකාව තුළ ඒ තත්ත්වය ඇති වෙලා. නියඟය සහ ගංවතුර කියන බරපතළ ආපදා තත්ත්වයේදී මුළු ලෝකයේම දුගීභාවය වර්ධනය වෙනවා. ආහාර හිඟය, රෝගී තත්ත්වයන් වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒ වගේම සහස්‍ර සංවර්ධන ඉලක්ක කරා යෑමේදී තිබෙන තවත් බාධාවක් තමයි දූෂණය, නාස්තිය හොරකම.

අපට තිබෙන සහස්‍ර සංවර්ධන ඉලක්ක අතරේ කාලගුණික විපර්යාස, දුගීභාවය, සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැඟීමේ අභියෝගය, දූෂණය වංචාව සහ හොරකම නැතිකිරීම ප්‍රධානයි. අද දවසේ වගේම හෙට දවසේ තියෙන අභියෝගවලට මුහුණ දීම සඳහා ඉන්ජිනේරුවන් වන ඔබෙන් කරන ඉල්ලීම වෙන්නේ ඔබේ අත්දැකීම්, දැනුම ජාතිය වෙනුවෙන් කැප කරන්න කියලායි. අපිට ඒ අභියෝග ජයගන්න දේශපාලන පක්ෂභේද, ජාතිභේද යටපත් කරමින් සියලු ජනතාව එකට අත්වැල් බැඳගත යුතුයි.

පහන් විජේසේකර

ඡායා - කැළුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon