අපි ගැන සැක නම් සාකච්ඡා කර විසඳාගමු

  👤  2839 readers have read this article !
By mawbima 2018-10-22

2017 වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අස්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු - ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කනස්සල්ලට හා කනගාටුවට හේතු වී ඇති බව පැවැසූ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඒ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරලීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම කළේ 20 වැනිදා දහවල් නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස හමු වූ අවස්ථාවේදීය.
මෝදි මහතා විසින් ශ්‍රී ලංකා දූත පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනමන ලදී.

රාජ්‍යතාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, එසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදු කරන සද්කාර්යයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කනගාටු වන බවත් පැවැසූ මෝදි මහතා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටලුවක් ඇත්නම් නොපැකිළව සාකච්ඡා කරන ලෙසද ඉල්ලා සිටියේය.
මෝදි මහතා හෝ ඉන්දීයට රජය පිළිබඳව කිසිදු සැකයක් හෝ ගැටලුවක් තමා තුළ හෝ ශ්‍රී ලාංකිකයන් තුළ නොමැති බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා එවැනි වැරැදි වැටහීමක් ඇතිවීමට කිසියම් හෝ හේතුවක් මුල් වී නම් ඒ පිළිබඳ කනගාටුව පළ කරන බව පැවැසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ වික්‍රමසිංහ මහතා, ව්‍යාපෘති පමාවීම සම්බන්ධව තමාගේද දැඩි සැලකිල්ල යොමු වී ඇති බවත් ව්‍යාපෘති කඩිනම් කරලීම සම්බන්ධව සුදුසු පියවර ගැනීමට අපේක්ෂා කරන බවත් පැවැසීය.

2015 වසරෙන් පසු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා වඩාත් ශක්තිමත් තලයකට පත්වූ බව පෙන්වා දුන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමන්ගේ අරමුණ අසල්වැසි ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමෘද්ධිය බව අවධාරණය කළේය. ආර්ථික, සංස්කෘතික හා ආරක්ෂක අංශ සලකා බලද්දී දෙරට අතර අඛණ්ඩව පැවැතිය යුතු නොබිඳෙන සමීප සම්බන්ධතාව අතිශය වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.


ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් තමා කත්මණ්ඩු නුවරදී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී 2017 අවබෝධතා ගිවිසුමට අනුකූලව සියලු කාර්යයන් සිදු කිරීම පිළිබඳව අදහස් හුවමාරු කරගත් බවද මෝදි මහතා පෙන්වා දුන්නේය.

සුවසැරිය ගිලන් රථ සේවාව ලබා දෙමින් ජීවිත දහස් ගණනක් රැකගැනීමට මෝදි මහතා දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් සමස්ත ලාංකිකයන් වෙනුවෙන් වික්‍රමසිංහ මහතා කෘතවේදිත්වය පළ කළේය.
ශ්‍රී ලංකාවේ නිවාස ව්‍යාපෘති, යටිතල පහසුකම් සැපයීම් හා වෙනත් සංවර්ධන ක්‍ෂේත්‍රයන් වෙත ඉන්දියාව ලබා දෙන සහයෝගය අගය කළ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳ දැනුම ලාංකේය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ප්‍රදානය කරලීම සඳහා සහාය දක්වන ලෙස මෝදි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස දස දහසක් ඉදි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලැසීමටද කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ශ්‍රී ලංකාව කිසි විටෙක ඉන්දීය ආරක්ෂාවට තර්ජනයක් වන කිසිවක් සිය භූමිය තුළ සිදු කරලීමට ඉඩකඩ නොදෙන බව අවධාරණය කළ වික්‍රමසිංහ මහතා තම රට ලෝකයේ ඕනෑම රටක් සමඟ එක්ව ක්‍රියා කරන්නේ ආර්ථික හා සංස්කෘතික ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් පමණක් බවද පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ දූෂණ මැඬපැවැත්වීම සඳහා සහාය ලබා දෙන ලෙස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.


තම මුදල් අමාත්‍ය අරුන් ජෙට්ලි මහතා ඉන්දීය ක්‍රිකට් දූෂණ මැඬලීම පිළිබඳ ව්‍යාපෘතිය සම්බන්ධ අත්දැකීම් රැසක් ඇත්තෙක් බැවින් ආරම්භයක් ලෙස ඔහු සමඟ සාකච්ඡා අරඹන ලෙස මෝදි මහතා දැනුම් දුන්නේය. ඉන්දීය බලධාරීහු වහාම ඒ සාකච්ඡාව සංවිධානය කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon