කරන්න පුළුවන් උපරිමයෙන් කළා: දැන්වත් ඉල්ලන පහසුකම් දෙන්න - පාරමී

  👤  3037 readers have read this article !
By mawbima 2018-10-22

සඳරු පෙරේරා, මීගමුව - නිමන්ති ප්‍රනාන්දු

පසුගියදා ආජන්ටිනාවේදී නිමාවට පත්වූ තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 2000 බාධක දිවීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකාවේ පළමු යොවුන් ඔලිම්පික් පදක්කමේ හිමිකාරිය බවට පත්වූ පාරමී වසන්ති මාරිස්ටෙලා සහ එම ක්‍රීඩා උළෙලට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙරේදා(20දා) යළි ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඔවුන් හරසරින් පිළිගන්නා ලද්දේ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් සහ මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් විසිනි.

එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශිකාවක් ලෙස කටයුතු කරන ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියද සහභාගි වූ අතර මෙම ජයග්‍රහණය ගැන අදහස් දැක්වූ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති කියා සිටියේ, ශ්‍රී ලංකාවට මෙවන් ජයග්‍රහණයක් ලබාදීමට හැකිවීම පිළිබඳ ඉතාමත් සතුටට පත්වන බවයි. 2007 වසරේදී සුසන්තිකා ජයසිංහ විසින් ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මීටර් 200 ඉසව්වෙන් දිනාගන්නා ලද ලෝකඩ පදක්කමට පසු ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක දිනාගත් පළමු ලෝක මට්ටමේ පදක්කම වන්නේද පාරමී විසින් දිනාගන්නා ලද මෙම ලෝකඩ පදක්කමයි.

තවද මෙම ජයග්‍රහණයට දැඩි කැපවීමකින් යුතුව පුහුණුවීම් සිදු කළ බව පැවසූ පාරමී "මම අනිත් අය වගේ නෙමෙයි. ගොඩක් මේ වෙනුවෙන් පුහුණුවීම් කළා. ජනිත් සර්(පාරමීගේ පුහුණුකරු) මට ගොඩක් සැලසුම් සකස් කරල දුන්නා. මම කුලියාපිටිය විදුහලේ, වයඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කළා. මම දවස් 6ක් උදේ සවස පුහුණුවීම් කළා. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මේ හීනෙ දැක්කෙ මම විතරක් නෙමෙයි. ජනිත් සර්ත් මේ හීනෙ දැක්කා. ඔලිම්පික් පදක්කමක් ලංකාවට දිනා දීමේ වෑයම තමයි මට දැන් තිබෙන්නෙ. ජනිත් සර්ව හා මාව විදේශීය රටකට අවුරුද්දකට හෝ දෙකකට යවලා පුහුණුවක් ලබාදෙනවානම් හොඳයි" යනුවෙන් පැවසුවාය.

මේ අතර එම අදහස් දැක්වීමේදී තමන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදු වූ අතපසුවීමක් සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාරමී "ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මගේ ක්‍රීඩා කටයුතු කරගෙන යන්න රුපියල් 75000ක මුදලක් ලබාදුන්නා. ඒ මුදල ලැබුණෙ මාසයයි. අපි හිතුවා ඒක දිගටම ලැබෙයි කියලා. මගේ ආහාරවලට ගොඩක් වියදමක් ගියා. පෝෂ්‍යදායී ආහාර ගන්න ඕනා. ස්ටේඩියම් යද්දි බස්වල යන්න බැහැ. මොකද මහන්සි වැඩියි. ඒ නිසා කුලියට වාහන අරගෙන තමයි ගියේ" යනුවෙන් පැවසුවා.

කෙසේ වෙතත් පාරමී දැක්වූ එම අදහස් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශිකාවක් වන සුසන්තිකා ජයසිංහ මහත්මිය පළ කළේ මෙවන් අදහසකි. "මේ ක්‍රීඩිකාව පාසල් ක්‍රීඩිකාවක්. තවම 11 වසරේ ඉගෙනුම ලබන්නෙ. ඒ නිසා තාම එයා ගමන ආරම්භ කළා විතරයි. මට ක්‍රීඩාවෙ තියෙන දැනීමත්, අවබෝධත් එක්ක ගත්තම ඇය මේක කලබල වෙලා.

ඉක්මනින් ගියොත් ඉක්මනින් හති වැටෙනවා. මීට වඩා කර්කශ ජීවිතයක් මම, දර්ශා සහ ශි්‍රයානිල අපි ගත කළේ. මේවා මට අමුතු දේවල් නෙමෙයි. මේකට සම්බන්ධ වෙච්ච අනුග්‍රාහක භවතුන් ඒ දීමනා දෙන්න ප්‍රමාද වෙලා තියෙනවා. අමාත්‍යාංශ මට්ටමෙන් ඇතැම් විට අඩුපාඩු සිදුවෙන්න පුළුවන්. නමුත් ඒ ගැන මීට වඩා වගකීමෙන් කතා කළ යුතු වෙනවා. සමහර වෙලාවට කතා කරද්දි මීට වඩා වගකීමෙන් කතා කරන්න තේරුම් ගන්න ඕන. හැමෝගෙම ආශීර්වාදය ලබාගන්න කටයුතු කළොත් ඉදිරි අනාගතය බෙහෙවින්ම යහපත් වේවි. ඉක්මන් වෙලා යමක් ප්‍රකාශ කරන්න එපා. ඉවසීම තියාගන්න. මම අමාත්‍යාංශයේ උපදේශිකාවක් ලෙස සිටිනවා. පවතින අඩුපාඩු මට කියන්න. මම ඔයාලගෙ දුක්ගන්නා රාල ලෙස සිටිනවා. අමාත්‍යතුමාට හෝ අදාළ නිලධාරීන්ට යොමු කර කඩිනම් විසඳුම් ලබා දෙන්නම්" යනුවෙන් පැවසුවාය.

ඡායාරූපය- සස්සඳ ලියනාරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon