වර්ෂාව මැද්දේ එංගලන්තය තරගාවලිය ජයගනී: සිවුවැනි එක් දින තරගයෙනුත් ශ්‍රී ලංකාව නාගනී

  👤  2745 readers have read this article !
By mawbima 2018-10-22

සිරිනාම රාජපක්‍ෂ, පල්ලෙකැලේ සිට..

කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන්ට වඩා මහන්සි වෙමින් මෙම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සේවක මහත්වරුන් වැහි ආවරණ සමඟ ව්‍යායාම කළ අයුරු පසුගිය එක්දින ක්‍රිකට් තරග දෙකේදීම දක්නට ලැබුණු අතර අවසන් ප්‍රතිඵලය වූයේ පෙරේදා (20දා) පැවැති ශ්‍රී ලංකා - එංගලන්ත සිවුවැනි එක්දින තරගයටද වැස්සෙන් බාධා පැමිණ ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව ලකුණු 18ක ජයක් එංගලන්ත පිලට හිමි වීමයි.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඉයන් මෝගන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කට ලබා ගත් 273ට පිළිතුරු ලෙස වර්ෂාව නිසා පෙරේදා පස්වරු 3.46ට තරගය නතර කරන විට පන්දුවාර 27කදී කඩුලු 2කට ලකුණු 132 ක් ලබා සිටි එංගලන්ත පිලට ඩක්වර්ත්-ලුවිස් න්‍යායට අනුව ජයගැනීමට ලබා ගතයුතුව තිබුණේ ලකුණු 114ක් පමණි. ඒ අනුව වර්ෂාවෙන් පැවැති දැඩි බාධක මැද්දේ තරග 3-0ක් ලෙස එක් දින තරගාවලියේ ජය එංගලන්ත පිල හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක සබඳතාව ලකුණු 19ක් වූ විට ලකුණු 1ක් ලබා සිටි සධීර සමරවික්‍රම දැවීගිය අතර දික්වැල්ලට එක්වූ චන්දිමාල් 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සබඳතාවක් තබා සිටියදී මොයින් අලි යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් පන්දු 47කදී ලකුණු 33ක් ලබා සිටි චන්දිමාල් දැවී ගියේය. 21 වැනි පන්දුවාරයේ 5වැනි පන්දුවේදී තම 7 වැනි අර්ධ ශතකය රැස් කරන්නට දික්වැල්ල සමත් වුවද ඔහු ඊට තවත් ලකුණු 2ක් එකතු කර සිටියදී අලිගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවන විට මුළු ලකුණු සංඛ්‍යාව 102ක් විය. මෙම තරගයේදී අංක-4 පිතිකරු ලෙස පැමිණි කුසල් මෙන්ඩිස් යළිත් අසාර්ථක වෙමින් පන්දු 14කදී ලකුණු 5ක් පමණක් ලබා සිටියදී නැවතත් අදිල් රෂීඩ් හමුවේ දැවී ගියේය.

ධනංජය ද සිල්වා හා දසුන් ශානක එක්ව ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක්කර දෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 102 සිට 154 දක්වා ඉහළ දැමූ අතර පන්දු 40කින් දියත් කළ එම සබඳතාවට ශානක දියත් කළ වේගවත් පිතිහරඹයද දායක විය. ඉන් පසුව ටොම් කරන් යැවූ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වාද ලකුණු 17කට දැවීගිය අතර ශානක සමඟ එක්වූ තිසර පෙරේරා 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42කදී ලකුණු 58ක සබඳතාවක් ගොඩනඟා තිබූ මොහොතේ පන්දු 66කින් ලකුණු 66ක් ලබා සිටි ශානක දුවද්දී දැවී ගියේය. තම 2 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ ශානකගේ 66ට හයේ පහර 5ක් හා හතරේ පහර 4ක් ඇතුළත් වූ අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් තිසර හා අකිල ධනංජයද තවත් ලකුණු 56ක (පන්දු 35කින්) සබඳතාවක් එක් කළද අවසන් පන්දුවාරයේ 5 වැනි පන්දුවේදී තිසරද දුවද්දී දැවී යෑමට හසුවන විට ලකුණු 44ක් රැස්කර තිබිණි. අවසානයේ අකිල පන්දු 26කින් ලකුණු 32ක් ලබා නොදැවී සිටි අතර පන්දු යැවීමේදී එංගලන්ත පිලේ මොයින් අලි කඩුලු 2ක් දවා ගත්තේය.

එංගලන්ත ඉනිමේ ඇලෙක්ස් හේල්ස් හා ජේසන් රෝයිගේ ආරම්භය ලකුණු 52කට සීමා විය. ඉන් පසුව පිටියට එක්වූ ජෝ රූට්(නොදැවී 32) හා මෝගන් (නොදැවී 31)දෙදෙනා තවත් කඩුලු නොදී 3 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක් එකතු කළේ වැස්ස වැටෙන විට අවශ්‍ය ලකුණු ප්‍රමාණය කළමනාකරණය කර ගනිමිනි. අවසානයේදී හයේ පහර 1ක් හා හතරේ පහර 3ක් සමඟින් පන්දු 34කදී ලකුණු 31ක් ලබා ගත් නායක මෝගන් තරගයේ වීරයාද විය.

ඡායාරූපය - වෙනුර චන්ද්‍රමලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon