තනි ආණ්ඩුවකට ඉඩ දී එජාපය ඉවත් වීම හෝ එජාපයට ඒ සඳහා ඉඩදීම ජනපතිගේ යුතුකමයි - චමින්ද විජේසිරි

  👤  2725 readers have read this article !
By mawbima 2018-10-22

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති නියමාකාරයෙන් ඉදිරියට ගෙන යෑමට ජාතික ආණ්ඩුව අසමත් නම් ජනාධිපතිතුමාට තනි ආණ්ඩුවක් පිහිටු වීමට හෝ එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට හෝ ඉඩදිය යුතුබවට යෝජනාවක් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සූදානමින් සිටින බව එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

ජාතික ආණ්ඩුවට එරෙහිව විවිධ කොටස්වල වුවමනාවන් අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකරනු ලබන යම් යම් ප්‍රකාශ ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමනට ප්‍රබල තර්ජනයක් බවත්, ජාතික ආණ්ඩුව බිඳ වැටුණොත් එහි සම්පූර්ණ වගකීම ජනාධිපතිතුමා විසින් භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කරයි.

ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේදී එහි වගකීම එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම සමව භාරගත යුතු වුවද යහපාලන ආණ්ඩුවේ වාසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගෙන, අවාසි සියල්ල නිතරම එක්සත් ජාතික පක්ෂයට පැවැරීම වහාම නතර විය යුතු බවද චමින්ද විජේසිරි මහතා කියා සිටී.

එසේ නොවනවා නම් හොඳම විසඳුම ජනාධිපතිතුමාට තනි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදී එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම බවත්, එසේ නොමැති නම් එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් නිර්මාණය කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම බවත් විජේසිරි මහතා ප්‍රකාශ කරයි.

තව වසර එකහමාරක පමණ කාලයක් ප්‍රධාන ජාතික මැතිවරණවලට කල් තිබෙන බවත්, එම කාලය තුළදීත් පංගුපේරුවට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සමඟියෙන් තොරව රට පාලනය කරනවාට රටේ පොදු මහජනතාව අකැමැති බවත් එම ජනතාව වෙනුවෙන් හෝ මෙම තත්ත්වය අවබෝධ කරගෙන නිවැරැදිව කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වගබලා ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) සවස 4.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon