යොවුන් ඔලිම්පික් පදක්කම් දිනූ පාරමීට කොළඹින් නිවෙසක්

  👤  2764 readers have read this article !
By mawbima 2018-10-22

හලාවත _ ප්‍රසාද් පූර්ණමාල්,

නාත්තණ්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත

ආර්ජන්ටිනාවේ පැවැති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් හිමිකරගත් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිවසක් ලබා දීමට හා ඇය දැනට ජීවත් වන නිවෙස අලුත්වැඩියා කරදීමට නිවාස අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී තිබේ.

ඊයේ (21දා) පෙරවරුවේ මේ ක්‍රීඩිකාවට දුරකථනයෙන් කතා කළ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, කොළඹ ප්‍රදේශයෙන් නිවෙසක් ලබාදීමටත් මීට අමතරව ඇය දැනට ජීවත් වන නිවෙස, නිවාස සංවර්ධන අධිකාරිය මඟින් අලුත්වැඩියා කර දීමටත් පොරොන්දු වී ඇත.

මේ පණිවුඩය රැගෙන වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ පෙරවරුවේම මේ ස්ථානයට පැමිණි අතර මේ අවස්ථාවට නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික්කයේ නිලධාරීහුද සහභාගි වූහ.

මීට අමතරව ඇගේ ක්‍රීඩා කටයුතුවලට හා අධ්‍යාපනයට අවශ්‍ය සහාය ලබා දීමට අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාද පොරොන්දු විය.

ඇය දැනට පදිංචි නිවෙස අලුත්වැඩියා කිරීමේ කටයුතු හා ඊට අවශ්‍ය මැනුම් කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ අතර ඇයට ලබා දීමට පොරොන්දු වූ නිවස භාර දීම මේ මස 30 වැනි දින කරුවලගස්වැව නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේදී සිදු කිරීමට නියමිත බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

'මට ලොකු සතුටක් දැනෙන්නේ. මට සියලු දේ ලැබුණේ මගේ ජයග්‍රහණය නිසයි. රටේ සියලු දෙනා මා ගැන අද උනන්දු වෙනවා. මගේ ඊළඟ ඉලක්කය සාමාන්‍ය පෙළ විභාගය. ඉන් පස්සේ මගේ ඉලක්කය ඔලිම්පික් තරගාවලිය. කොහොම හරි මම පදක්කමක් ගේනවා.' පාරමී ක්‍රීඩිකාව රංගේ බණ්ඩාර අමාත්‍යවරයා හමුවේ පැවැසුවාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon