කොළඹ වරායෙන් ගොඩබාන ඉන්ධනවලට වඩා ත්‍රිකුණාමලයෙන් බාන තෙල්වල මිල අඩුවිය යුතුයි - හිටපු ඛනිජ තෙල් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි

  👤  1034 readers have read this article !
By mawbima 2018-10-22

බළපිටිය - දම්සරී ලියනගේ

රජය හඳුන්වා දී ඇති ඉන්ධන මිල සූත්‍රය අනුව ත්‍රිකුණාමලය වරායෙන් ගොඩබාන ඉන්ධන, කොළඹ වරායෙන් ගොඩබාන ඉන්ධනවලට වඩා මිලෙන් අඩු විය යුතු බව හිටපු ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා ඊයේ (21දා) ප්‍රකාශ කෙළේය.

රජය විසින් ප්‍රකාශයට පත් කර ලද ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් මාධ්‍ය කරුණු විමසූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කෙළේය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වූ චන්දිම වීරක්කොඩි මහතා මෙසේද කීය.

'මේ ඉන්ධන මිල සූත්‍රය කිසිසේත් පිළිගන්න බැහැ. රජය සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල වැඩි කළේ රජයේ වියදම් පියවා ගන්නයි. මිල සූත්‍රයක් අනුව වැඩි කරන බව කිව්වේ වෙනත් කියන්න දෙයක් නැති නිසයි. කිසිදු මිල සූත්‍රයක් ඇතිව නෙවෙයි' ඉන්ධන මිල වැඩි කළේ. ඒ බව දැන් වඩාත් හොඳින් තහවුරු වෙනවා.'

'රජය දිගින් දිගටම ඉන්ධන මිල වැඩි කරන්නේ මිල සූත්‍රයක් අනුව බව කියන විට මිල සූත්‍රය ඉදිරිපත් කරන්න කියලා ජනතාව කිව්වා. ඇතැම් සංවිධාන මිල සූත්‍රය එළියට ගැනීම සඳහා නීත්‍යනුකූල ක්‍රියා මාර්ග පවා ගත්තා. එන්න එන්නම තත්ත්වය බැරෑරුම් වෙන බව රජය තේරුම් ගත්තා. මිල සූත්‍රය බොරුව තවදුරටත් හංගාගෙන ඉන්න බැරි නිසයි.

බොරු මිල සූත්‍රයක් එළියට දැම්මේ. මේ බොරු මිල සූත්‍රය මඟින් මංගල සමරවීර අමාත්‍යවරයා රටේ ජනතාව අපහාසයට හා උපහාසයට ලක්කර තිබෙනවා. මේ මිල සූත්‍රයෙන් වෙලා තියෙන්නේ ඉන්ධන මිල වැඩි කිරීම පමණයි.'

'ඉන්ධන ගොඩබෑම සඳහා කොළඹ වරායෙන් අය කරන ගාස්තුවට වඩා ත්‍රිකුණාමල වරායෙන් අය කරන ගාස්තුව අඩුයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව කොළඹ වරායෙන් වැඩි වශයෙන් තෙල් ගොඩ බාන්නේ ඉන්දීය තෙල් සමාගම ත්‍රිකුණාමලයෙන් වැඩි වශයෙන් තෙල් ගොඩබානවා. ඒ නිසා ඉන්දීය සමාගමට අඩු මිලට තෙල් ලබා දෙන්න පුළුවන්.

නමුත් ත්‍රිකුණාමලයෙන් ගොඩබාන තෙල් ඉන්දීය තෙල් සමාගම විසින් විකුණන්නේ වැඩි මිලට. හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයා හැටියට මේ ප්‍රකාශය කරන්නේ මම ඉතා වගකීමෙන්' යැයිද චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon