තෙබුවන සැරයන්ගේ නිවෙසේ ඉතිරි වැඩ සම්පූර්ණ කරන්න භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයට ජනපතිගෙන් උපදෙස්

  👤  1010 readers have read this article !
By mawbima 2018-10-22

පයාගල - සුජිත් මාරියෝ

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට යෑමේදී අපහසුතාවට පත්වූ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාගේ වැඩ අවසන් නොවූ නිවෙසේ වැඩ අවසන් කර දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතාට උපදෙස් දී තිබේ.

බලපත්‍ර නීතී උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කරමින් සිටියදී තමන් අත්අඩංගුට ගත් ලොරි රථයක් ඉහළ පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීමට එරෙහිව විරෝධය පළ කරමින් තම රාජකාරි ගිනි අවියද රැගෙන ඔහු තෙබුවන නගරයට පැමිණීමේ සිද්ධිය රට පුරා මහත් ආන්දෝලනයට ලක් විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම පොලිස් නිලධාරියා කැඳවා කරුණු විමසීමෙන් අනතුරුව වැලි ලොරියේ හිමිකරුවන් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර ඇත්දැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් විමසීමක් කර තිබිණි.

ඒ අනුව නිකුත් කර ඇති බලපත්‍රයේ කොන්දේසි 5ක් සම්පූර්ණ විය යුතු බවත් එහි 2 වැනි කොන්දේසිය ඛනිජ ප්‍රවාහනය කරනු ලබන හැම ගමන්වාරයකදීම ගමන ආරම්භයේදීම සියලු විස්තර සම්පූර්ණ කර බලපත්‍රලාභියා අස්සන් කළ යුතුව ඇති බවත් පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා පරීක්ෂා කර තිබූ බලපත්‍රයේ ඉහත දෙවැනි කොන්දේසිය කඩ කර තිබූ බවත් එය අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් දිය යුතු වරදක් වන අතර එසේ නොකර ලොරිය මුදාහැර ඇති බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ජනාධිපති ලේකම් කාර්යාලයට වාර්තා කර තිබිණි.

ඒ අනුව නිසි ක්‍රමවේදය පොලිස්පතිවරයාට දැනුවත් කිරීමෙන් පසුව වැඩ තහනමට ලක්ව සිටි පොලිස් සැරයන්වරයා යළි සේවයේ පිහිටුවන ලදී.

පොලිස් සැරයන්වරයාගේ නිවෙස ඉදිකිරීම් සම්පූර්ණ කර දෙන ලෙස ජනාධිපතිවරයා කළ දැනුම්දීම අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානී මේජර් ඒ.එච්.එල්. ජයන්ත මහතා ප්‍රමුඛ නිලධාරීන් පසුගියදා එහි ගොස් නිවෙස ඉදිකිරීමේ මූලික කටයුතු ආරම්භ කරන ලදී.

නිවෙස ඉදි කිරීමේ සැලැසුම් සකස් කරන හා ශ්‍රම දායකත්වය සපයන සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාගේ අඩක් නිම කළ නිවෙස සම්පූර්ණ කර දීමේ මූලික කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.

ඒ අනුව එහි ගිය භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානී මේජර් ඒ.එච්.එල්. ජයන්ත මහතා ඇතුළු නිලධාරීන්ද සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්ද මූලික මැනුම් කටයුතු සිදු කළ ආකාරය මෙහි දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon