මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කිරීමේ බලය පොලිසියට තිබෙන බවට තංගල්ල මහෙස්ත්‍රාත්තුමා ප්‍රකාශ කළා

  👤  1009 readers have read this article !
By mawbima 2018-10-22

තංගල්ල - සහම්පති මානගේ

සුරාබදු ආඥා පනත ප්‍රකාරව නඩු පැවරීමෙන් හෝ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කිරීමේ බලය පොලිසියට තිබෙන බවට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලිලාන් ටිලන්ත වරුසවිතාන මහතා ප්‍රකාශ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය.

තංගල්ල පොල්අත්තාර, නාකුළුගමුව ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවෙසක මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය භූගත කසිප්පු ස්කාගාරයක් වටලා සැකකරුවන් දෙදෙනකු ඉකුත් මස 12 දින තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමේදී විත්තිය විසින් ඉදිරිපත් කළ විරෝධතාවලට කරුණු ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා ඉකුත්දා (19දා) තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේද පැවැසුවේය.

සුරාබදු ආඥා පනත ප්‍රකාරව නඩු පැවැරීමේ බලය පොලිස් නිලධාරීන්ට නොමැති බවට තංගල්ල පොලිස් ස්ථානය විසින් පවරන ලද නඩු කිහිපයකට අදාළව විත්තිය වෙනුවෙන් මීට පෙර ගරු අධිකරණයට විරෝධතාවක් ගෙනාවා. පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි මම තංගල්ල ගරු මහෙස්ත්‍රාත් අධිකරණයේ මීට පෙරද පෙනී සිටියා. මම ගරු අධිකරණය ඉදිරියේ සැල කිරීමක් කළා සුරාබදු ආඥා පනත ප්‍රකාරව පොලිසිය නඩු පැවැරීමට තිබෙන නෛතික බලතල පිළිබඳ. ව්‍යවස්ථාපිතව ඒ බලය ලැබී තිබෙන ආකාරයත් විශේෂයෙන්ම ගරු අභියාචනා අධිකරණය හා ගරු ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් පොලිස් නිලධාරීන්ට සුරාබදු ආඥා පනතට ප්‍රකාරව නඩු පැවැරීමේ බලය සහතික කර ඇති ආකාරය පිළිබඳවත් මම ගරු අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළා.

පැමිණිල්ල වෙනුවෙනුයි මම පෙනී සිටියේ. පැමිණිල්ල වෙනුවෙන් දක්වපු කරුණුත් විත්තියේ විරෝධතාවන් සියල්ල සැලකිල්ලට අරගෙන ගරු මහෙස්ත්‍රාත්තුමා නියෝග කළා සුරාබදු ආඥා පනත ප්‍රකාරව එහෙමත් නැත්නම් මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කිරීමේ බලය පොලිසියට තිබෙන බවට. ඒ අනුව ඒ නඩු සියල්ල යළි විභාග කිරීමට තීරණය කළා. සුවිශේෂී අවස්ථාවක් මේ ගරු අධිකරණයෙන් ලබාදුන් ඒ තීන්දුව.

මත්උවදුර හා නීති විරෝධී මද්‍යසාර සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කළ 'කෙළින්ම කියන්න' හරි මඟට හා පාසල් දරුවන් දැනුවත් කිරීමේ දේශක වැඩසටහන ඉතාමත් සාර්ථක අයුරින් මේ වන විට ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon