එන්.ජී.ඕ ප්‍රධානියකුගේ චෝදනාවක් නිසා ලුතිනන් කලණට ‘මාලි’ වලින් එන්න කියලා

  👤  2464 readers have read this article !
By mawbima 2018-10-23

මාලි රාජ්‍යයේ සාමදූත මෙහෙවරකට සහභාගි වූ ලුතිනන් කලණ අමුණුපොළ මහතා දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ පුද්ගලයකුගේ චෝදනාවක් අනුව නැවත මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකා හමුදාවේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

ඔහු සඳහන් කර සිටියේ යෙස්මින් සුකා නමැති දකුණු අප්‍රිකාවේ එන්.ජී.ඕ. සංවිධානයක් මෙහෙයවමින් දෙමළ ඩයස්පෝරාවෙන් විශාල ලෙස මුදල් ලබාගන්නා මෙම පුද්ගලයා මීට පෙරද මෙවැනි චෝදනා ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව එල්ල කළ බවයි.

ඊයේ (22දා) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

ශ්‍රී ලංකා රජය බරපතළ ප්‍රශ්නයක් ඇති කරලා තිබෙනවා ශ්‍රී ලංකා හමුදාවට. මාලි රාජ්‍යයේ සාම දූත මෙහෙවරක් සඳහා සහභාගි වූ ලුතිනන් කලණ අමුණුපොළ මහතාව නැවතත් මෙරටට ගෙන්වන්න සූදානම් වෙනවා. ඔහුට එල්ල වෙලා තිබෙන චෝදනාව තමයි යුද්ධය පැවැතුණු සමයේ ඔහු රාජකාරි කටයුතු කළ 58 වැනි සේනාංකය බොහොම දරුණු යුද අපරාධ කළ බව. එහිදී හිතාමතාම රෝහල්වලට බෝම්බ දැම්මා, ත්‍රස්තවාදීන් මරා දැම්මා, විශේෂයෙන් පුදුකුඩිඉරිප්පුවලදී රෝහල්වලට චේතනාන්විතව බෝම්බ දාලා රෝගීන්ව මරා දැමූ බවට චෝදනා කර තිබෙනවා. කිසිම සාධාරණ විමර්ශනයක් නොකර තමයි ලුතිනන්වරයාව ලංකාවට නැවත ගෙන්වන්න හදන්නේ.

යෙස්මින් සුකා කියන දකුණු අප්‍රිකාවේ මහා පරිමාණ එන්.ජී.ඕ. එකක් මෙහෙයවන පුද්ගලයා තමයි මෙම චෝදනාව එල්ල කරන්නේ. මේ පුද්ගලයා විශාල මුදල් ප්‍රමාණයක් දෙමළ ඩයස්පෝරාවෙන් ලබා ගන්නා කෙනෙක්. යෙස්මින් සුකා මේ ප්‍රථම වතාව නොවෙයි ශ්‍රී ලංකා හමුදාව ඉලක්ක කරගෙන මෙවැනි චෝදනා සිදු කරන්නේ. දරුස්මාන් කමිටුවේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරනවා. එහිදීත් මේ වගේ චෝදනා යෙස්මින් සුකා එල්ල කළා. මේ දරුස්මාන් වාර්තාවෙන් කළ යෝජනා ශ්‍රී ලංකාව තමන්ගේ යෝජනාවක් ලෙස පිළිගත්තා. ලෝකයේ කිසිම රටක් මේ ආකාරයට කටයුතු කරලා නැහැ.

ඒ පිටුපස සිටින ප්‍රධාන කෙනෙක් තමයි මේ යෙස්මින් සුකා. ඒ වගේම ඒ පුද්ගලයා ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකා හමුදාවට ලෙහෙසියෙන් ගැලවෙන්න දෙන්නේ නැහැ කියලා. මේ පුද්ගලයාගේ චෝදනාවට තමයි ලංකා ආණ්ඩුව ලුතිනන් කලණ අමුණුපොළ රණවිරුවාව ලංකාවට ගෙන්වන්න හදන්නේ. අපේ ආණ්ඩුවක් තිබුණා නම් අපි කිසිසේත්ම මෙවැනි දේකට එකඟ වන්නේ නැහැ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළාගෙන ඒ වෙනුවට ත්‍රස්තවාදීන් හුරතල් කරන පනතක් තමයි ගේන්න හදන්නේ. ආණ්ඩුව මේ වැඩපිළිවෙළ ගෙනියන්නේ රටේ යහපත උදෙසා නෙවෙයි විදේශිකයන් සතුටු කිරීමට.

මේ ආණ්ඩුව හරියට කපිතාන් නැති නැවක් වගේ. නාවිකයන් එක එක පැත්තට නැව ගෙනියන්න හදනවා. මගියන් දන්නේ නැහැ නැව කොහේට ගෙනියනවාද කියලා. නැව කුණාටුවකට හසුවෙලා වගේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන,
අපේ රටේ අගමැතිවරයා ඉන්දීය සංචාරයක නිරත වුණා. එහිදී ඉන්දීය අගමැති මෝදි කියලා තියෙනවා 2017 ඉන්දු _ ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමේ සඳහන් ඇතැම් කරුණු ක්‍රියාත්මක නොකිරීම නිසා තමන් කනස්සල්ලෙන් සිටින බව. රටේ ජනතාවට දැන් කුතුහලයක් තිබෙනවා මේ අවබෝධතා ගිවිසුමේ මොනවාද සඳහන් කර තිබෙන්නේ කියලා.

මහින්ද අමරවීර ප්‍රකාශ කරනවා කැබිනට් මණ්ඩලය තුළ රෝ සංවිධානයට සම්බන්ධ ඇමැතිවරුන් 04 දෙනෙක් සිටින බව. ඒ වගේම ඔහු කියනවා දෙදෙනකුගේ නම් දන්නවා අනෙක් දෙදෙනා ගැන සොයනවා කියලා. අපි කියනවාඇමැති අමරවීරට රෝ සංවිධානයට සම්බන්ධ හතර දෙනාගෙන් නම් දන්න දෙදෙනාගේ නම් හෙළි කරන්න කියලා.

ජවිපෙ කොළඹට එනවා ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය දැක්වීම සඳහා. හැබැයි ජවිපෙ ආශීර්වාදය මත තමයි මේ ආණ්ඩුව බලයට පැමිණියේ. 88 _ 89 කාලයේදීත් ඔවුන් මේ රටට වැරැද්දුවා. අපි කියනවා ජවිපෙට විරෝධතාවට එන්න කලින් කැඩපතක් ඉදිරියට ගිහින් බලන්න කියලා.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon