රැඳවියන්ගේ විරෝධතාවයේදී දේපළවලට වූ හානිය ගැන සොයන්න කමිටුවක්

  👤  2335 readers have read this article !
By mawbima 2018-10-23

කුමුදු උපුල් ශාන්ත

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නේවාසික රැඳවියන් පිරිසක් සිදුකළ විරෝධතාවයේදී එම බන්ධනාගාරයේ දේපළවලට සුළු අලාභ හානි සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මාතර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

එකී දේපළවලට අලාභ හානි සිදුකළ රැඳවූවන් කවුරුන්ද යන්න පිළිබඳ හඳුනා ගැනීම හා එම දේපළවලට සිදුව ඇති අලාභයේ වටිනාකම කොතෙක්ද යන්න තක්සේරු කිරීම ඉහත කී කමිටුවට පැවැරී ඇති බවද ඒ මහතා කීය.

බන්ධනාගාර දේපළවලට අලාභ හානි කිරීමට කිසිදු සිරකරුවකුට හෝ සැකකරුවකුට අයිතියක් නොමැති බවත් එම දේපළවලට අලාභ හානි සිදුකර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ඉහත කී කමිටුව මඟින් අනාවරණය කරගතහොත් එකී රැඳවියන්ට එරෙහිව බන්ධනාගාර නීති රෙගුලාසි අනුව උපරිම දඬුවම් දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය නොයොදවන ලෙසට හා එකී බන්ධනාගාර අධිකාරිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් එකී රැඳවූවන් පෙරේදා (21දා) පෙරවරුවේ ආරම්භ කර තිබූ විරෝධතාව බන්ධනාගාර උසස් නිලධාරීන් පිරිසකගේ මැදිහත්වීම මත ඊයේ (22දා) පස්වරුවේ අවසන් කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon