ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිට යළි එම තනතුර දුන්නොත් පෞද්ගලික බස් අකර්මණ්‍ය වේවි

  👤  2333 readers have read this article !
By mawbima 2018-10-23

උපතිස්ස පෙරේරා

චෝදනා 29කට ලක්ව සිටිමින්, ආයතනයට එරෙහිව නඩු 50කට අධික ප්‍රමාණයකට මුහුණ දෙමින් සිටියදී සේවක විරෝධය මැද ඉකුත් 07 වැනිදා දින විශ්‍රාම ගැන්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා යළි එම තනතුරට පත් කළහොත් සෙසු වෘත්තීය සමිති එක්වී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය අනතුරු හඟවයි.

අපහරණය කළ වාහනයක් රුපියල් ලක්‍ෂ 21ක මුදලක් ගෙවා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පවරා එය දිරාපත් වන්නට ඉඩ හැර ඇති හිටපු සභාපතිවරයා මෙවන් වගකීමක් දැරීමට නොහැකි මානසික මට්ටමක පසුවන 74 හැවිරිදි අයකු බවත්, සේවකයන්ට කන් නොදෙන ඔවුන්ගෙන් නිරතුරුවම පළිගන්නා අයකු ලෙස තවදුරටත් ඔහු යටතේ සේවය කිරීමට එම ආයතනයේ සේවකයන් සූදානම් නොමැති බවත් එහි සභාපති ඩී.ඒ. වෙත්තසිංහ මහතා ඊයේ (21දා) දහවල් ග්‍රැන්ඩ්පාස්හිදී පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය. කනිෂ්ඨ කාර්මික සහතික පමණක් සුදුසුකම් ලබා ඇති මෙම පුද්ගලයාගේ අදූරදර්ශී මෙන්ම ඒකාධිපති වියරු පාලනයට එරෙහිව එහි සේවකයන් වරින්වර විරෝධය පළ කරමින් අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කර ඇති බවත්, ඔහුට අවනත නොවන සේවකයන්ට වෙනත් පුද්ගලයන් ලවා පහරදීම ඔහුගේ රාජකාරියේ කොටසක්වී ඇති බවත් වෙත්තසිංහ මහතා සඳහන් කළේය.

අන්තර් පළාත් බස්රථ සේවාවේ බස් හිමියන් 3500කට අධික පිරිසකගෙන්, ඔහුගෙන් විශේෂ සැලකිලි ලබන 100ක් පමණ සීමිත පිරිස හැර සෙසු සියලු දෙනා ඔහුගේ අත්තනෝමතික පාලනය හේතුවෙන් පීඩාවට හා දැඩි කලකිරීමට පත්ව සිටින බව සඳහන් කළ එහි ලේකම් ආර්.ඒ. සමන්ත මහතා, තම ඉල්ලීම නොතකා හැරීමට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය කටයුතු නොකරනු ඇතැයි තම බලවත් විශ්වාසය බව සඳහන් කළේය. මේ පුද්ගලයා තමන් දැඩි පීඩනයකට ලක්කළ සෑම අවස්ථාවකම ඊට මැදිහත්වී සාධාරණය ඉටුකළේ ජනාධිපතිවරයා වීම ඊට හේතුව බවද ඔහු කීවේය. රාජ්‍ය පරිපාලන නීති අනුව වසර 70 ඉක්මවූ පුද්ගලයන් මෙවැනි තනතුරු සඳහා පත්කළ නොහැකි බවත් ප්‍රවාහන ඇමැතිවරයාගේ නියෝග පවා තුට්ටුවකටවත් නොසලකා කටයුතු කරන මේ හිටපු සභාපතිවරයා වෙනුවට වැඩබැලීම සඳහා අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ සහකාර ලේකම්වරයකු පත්කර තිබියදී සභාපතිවරයාගේ බලතල පාවිච්චි කරමින් කටයුතු කළ අවස්ථා කිහිපයක්ද අනාවරණය වී ඇති බවත් තම නිල රථය පවා නිසි ලෙස භාර නොදුන් ඔහු තමන් වෙත තිබූ ආයතනය සතු ලැප්ටොප් ඇතුළු උපකරණ රැසක් නිසි ලෙස භාරදී නොමැති බවද පැවැසුවේය.

මේ අනුව මේ පුද්ගලයා යළි එම පදවියට පත් කිරීමට ජනාධිපතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නොත් මෙරට සමස්ත පෞද්ගලික බස් නියාමනය, පරිපාලනය හා මෙහෙයුම් සියල්ල අකර්ණම්‍ය වීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇතැයිද හෙතෙම අවධාරණය කළේය. මේ අතර තවත් මාධ්‍ය හමුවක් කැඳවූ පෞද්ගලික බස් රථ හිමියන් පිරිසක් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිවරයාගේ අදූරදර්ශි ක්‍රියාකලාපය හේතුවෙන් තමන්ට බස් ධාවනයෙන් ඉවත්වීමට සිදුවූ පසුබිමක් නිර්මාණය වූ බවත් එහෙත් ශේ‍ර්ෂඨාධිකරණයේ පිහිටෙන් තාවකාලික නියෝග ලබාගෙන බස් ධාවනය කළත් එයින් උපයන මුදල් ලක්‍ෂ ගණනක් මාසිකව නීතිඥ ගාස්තු ලෙස ගෙවීමට සිදුව ඇති බවත් පැවැසුහ.

මේ පසුබිම මත මේ සභාපතිවරයා හැර ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අභිමතය මත පෞද්ගලික බස් කර්මාන්තය පිළිබඳව දැනුමක් ඇති වෙනත් ඕනෑම පුද්ගලයකු පත් කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ බස් කර්මාන්තය මෙන්ම මගී ජනතාවක් රැකගැනීමේ සුපිරිසුදු චේතනාවෙන් බව ඔවුහු අවධාරණය කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon