කෝවිල් පෙරහරේ ඊළාම් සිතියම රැගෙන ගිය නව දෙනකුට නඩු

  👤  2370 readers have read this article !
By mawbima 2018-10-23

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

යාපනයේ අනේකෝට්ටේ කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික පෙරහරේදී ඊළාම් සිතියමක් රැගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකුට එරෙහිව යාපනය අධිකරණයේ නඩු පැවැරීමට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය පියවර ගෙන තිබේ.

එම කෝවිලේ වාර්ෂික පෙරහර පැවැති පසුගිය ජූනි මාසයේදී ඊළාම් සිතියමක් විදුලි බුබුළුවලින් අලංකාර කොට පෙරහරේ රැගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තර ලබා ගැනීම සඳහා කෝවිලේ බාරකාර මණ්ඩලයේ හා කෝවිලේ තරුණ සංගමයේ පස් දෙනකු නම් කොට ඔවුන්ට කොළඹට පැමිණෙන ලෙස පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මඟින් දැනුම් දී තිබිණි.

ඔවුන්ගෙන් ලබා ගත් කට උත්තරවලට අනුව මේ සිද්ධිය ඉතා සැලසුම්සහගතව සිදු කළ ක්‍රියාවක් මිස අහම්බෙන් සිදු වූවක් නොවන බව පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මඟින් තහවුරු කරගෙන තිබේ.

කොළඹට කැඳවා කළ ප්‍රශ්න කිරීමට අනුව මේ සිද්ධියට නව දෙනකු සම්බන්ධ බවට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයට තොරතුරු ලැබී තිබේ.

ඉන් දෙදෙනකු කෝවිලේ පූජකවරු වන අතර තවත් අයකු යාපනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකි. ඉතිරි හය දෙනා කෝවිල හා සම්බන්ධව පිහිටුවාගෙන ඇති තරුණ හින්දු සංගමයේ සාමාජිකයෝය.

මේ පිරිස අතරින් පස් දෙනකු කොළඹට ගොස් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයට කට උත්තර ලබා දීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගනු ඇතැයි යන සැකය මත එම පස්දෙනා යාපනය දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලීමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා තිබිණි.

තමන් වරදක් කොට නොමැති නිසා පොලිසිය විසින් වැරැදි චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට සූදානම් බැවින් එම අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සම මඟින් ඔවුහු ඉල්ලා තිබිණි.

පෙත්සම සිංහල භාෂාවෙන් තවත් තොරතුරු රැසක් සමඟ ඉදිරිපත් කොට තිබූ නිසා එම පෙත්සම දෙමළ භාෂාවෙන් ඉදිරිපත් කරන ලෙස යාපනය දිසා විනිසුරු කනකරත්නම් කේසවන් මහතා නියෝග කොට තිබේ.

පොලිසිය විසින් මේ පිරිසට එරෙහිව යාපනය දිසා අධිකරණය වෙත නඩුවක් ගොනු කොට ඇති නිසා යාපනය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම යළි දෙමළ භාෂාවෙන් සකසා ඉදිරිපත් කොට කෝවිලේ බාරකරුවන් ඇතුළු පස් දෙනාට ලබන නොවැම්බර් මස 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා නියෝග කොට තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon