ගෝලීය ආර්ථික ප්‍රශ්නවලින් ගමේ ජනතාව අපි රැකගමු

  👤  2373 readers have read this article !
By mawbima 2018-10-23

වර්තමානයේ ඇති වී තිබෙන ගෝලීය ආර්ථික ප්‍රශ්නවලින් ගමේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ග්‍රාම නිලධාරීන් දෙදහස් පන්සීයක් බඳවා ගැනීමේ දෙවැනි අදියර සහ පරිපාලන ග්‍රාම නිලධාරීන් සඳහා පත්වීම් ලබාදීමේ උත්සවයට එක්වෙමින් ඊයේ (22දා) අරලියගහ මන්දිරයේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම මේ වනවිට ගමේ සංවර්ධනය වෙනුවෙන් බිම් මට්ටමේ ව්‍යාපෘති ලක්ෂයක් පමණ මේ වනවිට ආරම්භ කොට ක්‍රියාත්මක කරන බවද අගමැතිවරයා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා
ගමේ පාලනය තමයි ඉතාම වැදගත් වෙන්නේ. ලෝකයේ ඕනෑම පාලනයක් ඇතිවුණේ ගමේ පාලනය මුල් කරගෙන. ලෝකයේ තියෙන පාලන ක්‍රම දියුණු වෙන්න, දියුණු වෙන්න ගමේ පාලනය වැදගත් වුණා. ඉස්සර ගමේ හිටියේ මුලාදෑනි. ග්‍රාම නිලධාරි තනතුර ඇතිවුණේ ඊට පස්සේ. ග්‍රාම නිලධාරියා තමයි බිම් මට්ටමේ මූලික පරිපාලන කටයුතු කළ යුත්තේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, දිසා ලේකම් සහ ප්‍රාදේශීය ලේකම්ගේ මාර්ගයෙන් තමයි මේ පරිපාලනය ගමට ගෙනැවිත් තියෙන්නේ.

ඒ නිසා ග්‍රාම නිලධාරියාගේ රාජකාරිය තමයි ජනතාවට සේවය කිරීම. ජනතාවට වුවමනා ලිපි, සහතික ලබාදීම. මේ වැඩ කටයුතු හරියට කරන්න කියලා අපි කියනවා. ඒ වැඩකටයුතු ඔබ නොකළොත් ගමේ ජනතාවම ඔබට එරෙහිව නැඟී සිටියි.

අද ගමේ ආර්ථිකය ආරක්ෂා කරන්න ගම් මට්ටමේ ව්‍යාපෘති අපි ආරම්භ කරලා තියෙනවා. එයින් ප්‍රධාන එකක් තමයි ගම්පෙරළිය, ගම්පෙරළිය වැඩසටහනින් අපි ව්‍යාපෘති ගණනාවක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.

විමධ්‍යගත අය - වැයෙන් අපි ඒ වැඩ කටයුතු කරගෙන යනවා. මධ්‍යම ආණ්ඩුවෙන් අපි නිවාස ඉදිකරනවා. විශාල වැඩකොටසක් අද බිම් මට්ටමින් කරගෙන යනවා. අද ලංකාවේ බිම් මට්ටමේ ව්‍යාපෘති ලක්ෂයකට වඩා ග්‍රාම නිලධාරී කොට්ඨාසවල ක්‍රියාත්මක වෙනවා.

මේ ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම බිම් මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළේ අපි.

මෙතැනදී ගමට මුදල් එනවා. ඒ මුදල් කලට වෙලාවට ඒ අදාළ වැඩවලට යොදවන එක සියලුම නිලධාරීන්ගේ වගකීමක්. එයට ප්‍රධාන වශයෙන්ම නායකත්වය දෙන්න ග්‍රාම නිලධාරීන්ට පුළුවන්. මේ වැඩකටයුතු මහ ආණ්ඩුවෙන් සිදුකරන්නේ නැතිව එක්කෝ ප්‍රාදේශීය සභාවට, පළාත් සභාවට පවරන්න පුළුවන්. නමුත් අද ගමට මුදල් දෙන්න ඕනි නිසා විශේෂයෙන්ම අපි මේ බිම් මට්ටමේ ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ කළා.

බොහෝ අය අද බයවෙනවා මුදල් නැති වෙයි කියලා. නමුත් බය වෙන්න එපා අපේ විදේශ විනිමය සංචිතය තියෙනවා. සමහර විට අපිට වැඩියෙන් ණය ගන්න සිදුවෙයි ගෝලීය ආර්ථික අර්බුදයක් තියෙන කාලෙදි. අපේ රටේ ගමේ ආර්ථිකය ආරක්ෂා කරලා ඉදිරියට ගෙන යන්න අපි කටයුතු කළ යුතුයි.

බිම් මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අපි ප්‍රගති සමාලෝචන ආරම්භ කරලා තියෙනවා. පසුගිය කන්නවලදී නියඟය ඇතිවුණා. ඒ ගම්වලට කෘෂි ආර්ථිකය තිබුණේ නැහැ. අද ආපසු වැස්ස පටන් අරගෙන තියෙනවා. ඉදිරි සිංහල අවුරුද්දට හොඳ වාතාවරණයක් ඇති කරන්න අපි කටයුතු කරනවා.

මෙහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන
ග්‍රාම නිලධාරියෙක් වරදක් කළොත් ඒකට දඬුවම් දෙන්නේ රජය. නමුත් දේශපාලනඥයෙක් වරදක් කළොත් ඒකට දඬුවම් දෙන්නේ මහජනතාව. අපි වරදක් කළොත් මැතිවරණවලදී මහජනතාව අපේ නඩු අහලා අපිව ගෙදර යවනවා.

රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර
පසුගිය ආණ්ඩුව සමයේදී රාජ්‍ය නිලධාරීන්ට පාලකයන්ගේ කීමට අවනත වෙන්න වුණා. නමුත් අද එහෙම නැහැ.

උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon