ගාල්ලෙන් පටන් ගත් රංගන ගාල්ලෙන්ම ගෙදර යයි

  👤  2355 readers have read this article !
By mawbima 2018-10-23

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කාලයක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයා මෙන්ම ලොව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් එළැඹෙන එංගලන්ත ටෙස්ට් තරගාවලියේ ගාල්ලේදී පැවැත්වෙන පළමු තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇති අතර රංගන හේරත් මීට වසර 19කට ඉහතදී ටෙස්ට් ක්‍රිකට් දිවියට අත්පොත් තබා ඇත්තේ ගාල්ල ක්‍රීඩාංගණයේදීම වීමද විශේෂත්වයකි.

නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මේ බව සනාථ කළ අතර එහි වැඩිදුරටත් සඳහන් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ තේරීම් කමිටුව සමඟ පැවැති සාකච්ඡාවකදී හේරත් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීම ප්‍රකාශ කළ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම නිල නිවේදනයෙන්ම අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක අෑෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ රංගනගේ තීරණයට ගරුකරන බවත් ඊට සහාය දක්වන බවත්ය. තවද ඔහුගේ විශ්‍රාම යෑම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වුවත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් දැක්වූ මිල කළ නොහැකි දායකත්වය පිළිබඳ ස්තූතිවන්ත වන බවද ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර ඇත.

කෙසේ වෙතත් 2016 වසරේදී එක්දින ක්‍රිකට් දිවියට සමුදුන් රංගන හේරත් ලොව වමත් පන්දු යවන්නන් අතර වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් බිඳහෙළා ඇති ක්‍රීඩකයාගේ වාර්තාවටද හිමිකම් කියන අතර ඔහු ටෙස්ට් තරග 92කදී ශ්‍රී ලංකාව නියෝජනය කර කඩුලු 430ක් දවාගෙන තිබේ. ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පන්දු යවන්නා මෙන්ම ලොව විශිෂ්ටතම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දුවෙන් ශක්තිමත් කළ ක්‍රීඩකයා වන්නේද රංගන හේරත්ය.

තවද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග 18කට ක්‍රීඩා කර ඇති රංගන හේරත් කඩුලු 99ක් දවාගෙන තිබීමද කැපීපෙනේ. මේ වන විට වැඩිම ටෙස්ට් කඩුලු දවාගෙන ඇති පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ පසුවෙන හේරත්ට නොවැම්බර් 6 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගයේදී තවත් කඩුලු 5ක් දවා ගැනීමට හැකි වුවහොත් එම ලැයිස්තුවේ 7 වැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණීමට හැකියාව පවතී. තවද රංගන හේරත් එක්දින කඩුලු 74කට සහ විස්සයි-20 කඩුලු 18කටද හිමිකම් කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon