දෙපා පණ නැති නිසා මවගේ උදව්වෙන් පාසල් ගොස් ශිෂ්‍යත්වය දිනූ දිනෙත්

  👤  2455 readers have read this article !
By mawbima 2018-10-23

දෙපාත්, දකුණතත් පණ නැතිව උපකාර පන්තියකටවත් නොයා අකුරු ඉගෙන මෙවර ශිෂ්‍යත්වයෙන් ලකුණු 173ක් ලබා ඉහළින් සමත් වුණු දරුවක් පිළිබඳ කතා පුවතක් අසන්නට ලැබුණේ ගම්පහ ප්‍රදේශයෙනි.

ගම්පහ ගෝතමී කනිෂ්ඨ විදුහලේ ඉගෙනුම ලැබූ දිනෙත් තත්සර සිසුවා ආතරයිටීස් රෝගය වැලඳීම හේතුවෙන් පාද දෙකම පණ නැතිව බොහෝ කාලයක් රෝහල් ගත වී සිටි අතර, පාසල් යෑමට හැකි වූයේ ඉතාමත් කෙටි කලකි. එම කාලයේත් පාසල් ගියේ මවගේ ඇකයෙනි. මුලින් දෙපා අප්‍රාණික වූ දිනෙත්ගේ දකුණත අප්‍රාණික වූයේ ශිෂ්‍යත්ව විභාගය ආසන්නයේ තිබියදීය.

අහිංසක සිනහවෙන් ඕනෑම කෙනකු දිහා බලන දිනෙත්ගේ ඒ මුහුණ නොබලා සිටීමට කිසිවකුටත් නොහැකි වන්නේ ඒ තරමටම ඔහුට ප්‍රසන්න සිනහවක් හිමිවීමයි.විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයත් මවුපියනුත් දිනෙත්ට ඉගෙනීමට අවශ්‍ය සියලු උදවු උපකාර කළේ මේ අහිංසකයාට කරන උපකාරයක් ලෙසිනි.

රෝහල්ගතව සිටියදී ඔහුට ප්‍රතිකාර ලබාදීම පමණක් නොව වෛද්‍යවරුන් සහ හෙදියන් ඔහුට විෂය කරුණු කියා දීමටත් පොත්පත් ලබාදීමටත් කටයුතු කර ඇත. දිනෙත් ගැන සංවේදී වූ ඇතැම් වෛද්‍යවරු ඔහු ජීවත් වූ කුලී නිවෙස සොයාගෙන ගොස් මුදල් හදල් දීමටත් පසුබට නොවූහ.

දිනෙත්, තම පියා දැක තිබුණේ නැත. ඒ ඔහු මෙලොව එළිය දකින්නටත් පෙර පියා ද්වේශ සහගත ලෙස මව අතහැර දමා ගොස් තිබූ බැවිනි. දිනෙත් සමඟ ජීවිතය ගත කළ ඔහුගේ මව ජීවත් වීමේ අරගලයක යෙදුණේ දරුවා උස් මහත් කර ඔහුට උගන්වා සමාජයේ ඉහළ තැනකට ගෙන ඒමේ අදිටනිනි. ඉන්න හිටින්නට තැනක් නැතිව සිය දරුවාත් සමඟ කුලී නිවෙස්වල ජීවත් වීමට ඇයට සිදුවූ අතර ජීවිතය ගැට ගසා ගැනීමට ඇය පාරවල් අයිනට වී අච්චාරු විකුණමින් ලද සොච්චම් මුදලින් සියලු කටයුතු කර ගැනීමට මෙම දිරිය මව සමත් වී ඇත.

ගම්පහ ගෝතමී විද්‍යාලයට ගිය දිනෙත්ට 3 වසරේදී උණ රෝගයක් වැලඳේ. මව දරුවාව වහා රෝහල් ගත කළාය. වෛද්‍යවරුන් මවට පවසා ඇත්තේ මෙය කුඩා දරුවන්ට වැලඳෙන ආතරයිටීස් රෝගයක් බවය. දිනෙත්ගේ දෙපා පණ නැතිව යන්නේ ඉන් අනතුරුවය. ඉන්පසු ඔහුගේ දුක්බර කතා පුවත දිනෙත්ගේ මව චමරි දිල්ලානි අප සමඟ පැවැසුවේ මෙසේය.

'පුතාට උණ හැදුණේ 2016 ඔක්තෝබර් මාසයේ. මම දරුවාව ඉක්මනට ගම්පහ රෝහලට එක්කගෙන ගියා. රෝහලේ මාසයක් විතර ඉන්න වුණා. ඒ අතර දරුවගෙ හන්දි ඉදිමෙන්න ගත්තා. ‍ෙදාස්තර මහත්තුරු කිව්වේ මේක ආතරයිටීස් රෝගයක් කියලා. ටික දිනකින් දරුවාගේ කකුල් දෙකම පණ නැතිව ගියා. ඒ වෙලාවෙ කාත් කවුරුවත් නැති දුප්පත් අපිට කර කියාගන්න දෙයක් නැතිව ගොඩක් අසරණ වුණා. රෝහලෙන් ගෙදර ආවට පස්සේ දරුවාගේ අනාගතය ගැන හිතල දරුවත් වඩාගෙන පාසල් එක්ක යන්න පටන් ගත්තා.

විදුහල්පතිතුමාගේ අනුකම්පාව මත පාසල ඉදිරිපිට සිටම අඹ, අච්චාරු විකුණන්න අවස්ථාව ලැබුණා. දරුවාගේ බෙහෙත්වලටත් පාසලේ වැඩවලටත් විදුහල්පතිතුමාත් සියලු ගුරුවරුත්, මවුපියනුත් මුදලින් ආධාර කළා. නිවෙසේ කුලිය ගෙව්වෙත් ඒ මුදල්වලින්.

ගම්පහ රෝහලේ කාංචනා ඩොක්ටර් ගෙදරට ඇවිත් දරුවා ගැන නිතරම සොයා බලා උපදෙස් දුන්නා. මුදලුත් දුන්නා. ඔය විදියට හැමෝම මේ දරුවා වෙනුවෙන් උදවු කළා.
දරුවා වැඩිම කාලයක් හිටියේ රෝහලේ නිසා පාසල් යන්න වුණේ ටික දවසයි. ඉගෙන ගන්න වැඩ කළේ රෝහලේ ඉඳගෙන. මම පාසලේ ගුරුතුමාගෙන් විෂය කරුණු අහගෙන දරුවට කියලා දුන්නා. නර්ස්ලත් දරුවාගේ ඇඳ ළඟට ඇවිත් පොත්පත්වල කරුණු කියල දුන්න. පොත පත ගෙනත් දුන්න. ඉඳහිට පාසල් ගිය දවසට අනෙක් අයගේ පොත් ඉල්ලගෙන පාඩම් කළා. මමත් ගෙදරදී දරුවාට ඇහෙන්න පොත් කියවනවා රෑ 12 විතර වෙනකන්. මේ විදියටයි ඉගෙන ගැනීම් කටයුතු කළේ.

මම විඳපු දුක පුතා දැනගෙන හිටියා. ඒක නිසා විභාගේ සමත් වෙන්න දරුවගේ මූලිකම පරමාර්ථය වුණේ ඉන්න තැනක් ලබාගන්න. මොකද දරුවා රෝහලේ ගත වෙලා ඉද්දි මට ගෙවල් කුලී ගෙවාගන්න බැරිවුණු අවස්ථාවලදී ගෙදර අයිති අය ඇවිත් මට බැනලා යන ආකාරය දරුවා දැක්කා. ඒක දරුවාගේ හිතට තදින් වැදුණා. ඒ නිසා දරුවා කිව්වා අම්මේ මම ශිෂ්‍යත්වෙ පාස්වෙලා ජනාධිපතිතුමාගෙන් හරි අම්මටයි මටයි ඉන්න තැනක් ඕනේ කියල මම ඉල්ලනවා. අපි එතකන් ඉමු කිය පුතා මට කියලා තිබුණා. ඔය හැඟීමෙන් තමා එයා විභාගෙට ලිව්වෙ. එයාට දකුණු අතෙන් ලියන්න තිබුණා නම් ඔයිට වැඩිය ලකුණු ගන්නත් තිබුණා. කවදාවත් අමතර පන්තියකට යන්නෙ නැතිව ඔහොම පාස් වුණු එක ගැන පාසලේ සියලු දෙනාම සතුටු වුණා. අනෙක් දරුවෝ ඇවිදගෙන පාසල් යද්දී මම දරුවාව වඩාගෙන ගියේ. අනෙක් දරුවෝ සරුංගල් අරිද්දි එයා අනන්තවත් අඬලා තියෙනවා මට ඇවිදගන්න බෑනේ කියලා. අනේ මම කියන්නේ මේ කතාව කියවල පුළුවන් කෙනෙක් ඉන්නව නම් අපිට ඉන්න තැනක් හදල දෙන්න කියලා' යැයි ඇය අප ඉදිරියේ හඬා වැලපුනාය.

ගම්පහ මහ රෝහලේ ළමා රෝග අංශයේ ජේ‍යෂ්ඨ වෛද්‍ය නිලධාරිනි කාංචනා සංජීවනී,

මේ දරුවට වැලඳිලා තියෙන්නේ පුංචි ළමයින්ට හැදෙන ආතරයිටීස් කියන රෝගී තත්ත්වයක්. ඒ නිසා දරුවා වැඩි කාලයක් හිටියේ රෝහලේ. කකුල් දෙක පණ නැතිවීම සම්බන්ධවත් දැනට පරීක්ෂණ කරගෙන යනවා. අපි දකිනවා නිතරම මේ අම්මා රෝහලේදීත් දරුවට පාඩම් කියල දෙනවා. මේ අයට මුදල් අතින් ඉතාම අපහසුයි. කුලී නිවෙසක ඉතාමත් දුක්ඛිත ජීවිතයක් තමා ගත කරන්නේ.

ගම්පහ ගෝතමී කනිෂ්ඨ විද්‍යාලයේ
විදුහල්පති _ උපාලි විජේවර්ධන,
මේ දරුවා තුනේ පන්තියේ ඉඳලා තමා අසනීප තත්ත්වයෙන් පසු වුණේ. කකුල් දෙකම පණ නැතිව ගියා. ඒ දරුවට අම්ම පමණයි ඉන්නේ තාත්ත නෑ. ඉන්න තැනක් නෑ. ඉතාමත් දුප්පත් දරුවෙක්. අම්මා වඩාගෙනයි පාසල් එන්නෙ. අනෙක් දරුවන්ගේ උදවුවෙන් තමා පන්ති කාමරය තුළ සිය කටයුතු සිදු කරගන්නෙ.

මේ දරුවා ඉතා දක්ෂ දරුවෙක්. මේ ළමයා හරි උනන්දු ළමයෙක්. චෙස් ක්‍රීඩාවටත් දක්ෂයි. නමුත් චෙස් ඉගෙන ගන්න සල්ලි නැති නිසා දවසක් අපේ පාසලේ චෙස් ක්‍රීඩාව උගන්නන වෙලාවක ඒ පන්තියේ දැලෙන් එල්ලිලා බලා ඉඳලා තමා චෙස් ක්‍රීඩාව ඉගෙන ගත්තේ. ඒ වෙලාවේ ගුරුවරයා මේ දරුවව ඒ පන්තියට අරගෙන චෙස් ඉගැන්නුවා.

දරුවා කිසිම උපකාරක පන්තියකට ගිහින් නෑ. සම්මන්ත්‍රණයකට ගිහින් නෑ. පාසලට පැමිණි දින කිහිපය තුළ ගත් දැනුමත් අනෙක් දරුවන්ගේ පොත් පාඩම් කරලා තමා විභාගයට මුහුණ දුන්නෙ. විභාගය ලියන්න මාස කිහිපයකට පෙර මේ දරුවාගේ දකුණු අතත් පණ නැතිව ගියා. දරුවට විභාගය ලියන්න ප්‍රශ්නයක් වුණා. නමුත් මේ දරුව අධිෂ්ඨානය අත්හැරියේ නෑ. ඉතා කෙටි කාලයකින් වමතින් අකුරු ලිවීමට හුරු වුණා. ඔහුගේ ඒ හැකියාව දක්ෂතාව මත පාසලටත් ගෞරවයක් ගෙනදෙමින් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 174ක් ලබාගෙන ඉහළින් සමත්වුණා. මේ දරුවට කිසියම් කෙනකුගේ පිටුවහලක් ලැබී ඉන්න ඉඩම් කැබැල්ලක් අරන් දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් පාසල පැත්තෙන් නිවෙසක් සාදා දෙන්න.

තම අනාගත ලෝකය ජය ගැනීමට වෙර දරන මේ දරුවට පිහිටක් වන්නට හැකි නම් එය මහත් සත් ක්‍රියාවක්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon