පවුලම වනසනවා කියා ලක්ෂ 12ක් කප්පම් ඉල්ලලා

  👤  2373 readers have read this article !
By mawbima 2018-10-23

මීගමුව - නිමන්ති ප්‍රනාන්දු, කටාන- බර්ටි වීරසිංහ

'තමුසෙ දරුවන්ටයි බිරියටයි ආදරෙයි නේද? එම ජීවිත ආරක්ෂා කර ගන්න ඕනෑ නම් මට ලක්ෂ 12ක් දීපන්. නැත්නම් ශබ්දයක් එයි. දුමක් නඟියි. මුළු පවුලම නැති වෙනවා කියලා හිතපන්' කියමින් පුද්ගලයකු බියවද්දා තර්ජනය කර මරණ බය ඇති කොට කප්පම් මුදලක් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් 21දා සවස 5ට පමණ නඩු භාණ්ඩ සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුවේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකරුවකු බව කියන අවුරුදු 30ක් පමණ වයසැති පුද්ගලයෙකි.

පසුගිය 19දා සැකකරු මෙම නඩුවේ පැමිණිලිකරු වන කුමාර නමැති අයට දුරකථනයෙන් කතා කර 'මම දූනගහ සුජිත්ගේ ගෝලයෙක් (දූනගහ සුජිත් යනු පාතාල කල්ලියක ප්‍රධාන සාමාජිකයෙකි) වැඩිය කතා කරන්න ඕනෑ නැහැ. දරුවන්ව බිරියව ජීවතුන් අතර දකින්න ඕනෑ නම් රුපියල් ලක්ෂ 12ක් ලෑස්ති කර ගන්න. එහෙම වුණේ නැත්නම් උඹවත් මත්ද්‍රව්‍ය හා ගිනි අවි දමා පොලිසියට මාට්ටු කර දෙනවා. වැඩේ භයානකකම තේරෙනවානේ. මුදල් සූදානම් කර ගනින්. මම නැවත කතා කරලා හමුවන තැන කියන්නම්' කියා පවසා ඇත.

කුමාර සිද්ධිය මීගමුව කොට්ඨාස පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතාට දැන ගැනීමට ඉඩ සැලසෙන ලෙස පැමිණිල්ලක් කර ඇත. පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු එම නිලධාරි කණ්ඩායම මෙහෙයුම සැලැසුම් කර ඇත.

පසුගිය 20 වැනිදාද සැකකරුගෙන් පැමිණිලිකරුට මුදල් ලෑස්තිදැයි විමසමින් තර්ජනාත්මක බිය ගැන්වීම් සහිත දුරකථන ඇමැතුමක් නැවත ලැබී ඇත.

'අනේ මට එපමණ මුදලක් හොයා ගන්න බැහැ. අඩු කරලා ගාණක් කියන්න යැයි' ඔහු කියා ඇත. 'ජීවිතේට ආදරේ නම් මුදල හොයා ගනින්' යනුවෙන් පවසා දුරකථන සංවාදය නවතා තිබේ.

කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සැකකරුව අත්අඩංගුවට ගැනීමේ සැලැස්ම සකස් කර තිබේ.

පසුගිය 21දාත් සැකකරුගෙන් දුරකථන ඇමැතුමක් ලැබී ඇත. ඒ අවස්ථාවේ පැමිණිලිකරුගේ සහෝදරයකු ලෙස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා සැකකරු සමඟ දුරකථන සංවාදයට සහභාගි විය. මේ දවස්වල මගේ සහෝදරයාට මුදල් කරදර තියෙනවා. ලක්ෂ 8ක් දෙන්නම් කියලා සම්පත් දිසානායක මහතා පවසා ඇත. ලක්ෂ 5 1/2යි හොයාගන්න පුළුවන් වුණේ අද බැංකු වහලා කියා යළි පවසා ඇත.

එවිට සැකකරු තර්ජනාත්මකව 'බැහැ - බැහැ' සම්පූර්ණ මුදල රැගෙන අද (21දා) සවස 5.00ට කොච්චිකඩේ මඩම්පැල්ල පාරේ පල්ලිය අසලට එන්ඩ' කියා පවසා තිබේ. යතුරුපැදියකින් එක් අයකු පමණක් ඒ තැනට පැමිණෙන ලෙස කියා තිබිණි. එවිට ස්ථානාධිපතිවරයා කතා කරමින් මීට පෙරත් මට ඔය වගේ තර්ජනය කර කප්පම් ලබා තියෙනවා. මෝටර් සයිකලයකින් ගියොත් මාව උස්සන් යයි. මට බැහැ යතුරුපැදියෙන් එන්න. බැරි නම් මේ වැඩේ කෙරෙන්නේ නැතැයි කියා තිබේ.

සැකකරුද සුළු මොහොතක් නිහඬව සිට 'හරි මෝටර් රථයෙන්' එන්න යැයි කියා ඇත. මෝටර් රථයට පොලිස් සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් හතර දෙනකු ගොඩවී ඇත. නියමිත ස්ථානයේ රැඳී සිටි සැකකරු මෝටර් රථයේ පාට සහ නොම්බරය කියමින් මේ වාහනයනේ දැයි අසා ඇත.

නොම්බර තහඩු වසා ඇති යතුරුපැදියකින් සම්පූර්ණ හිස මුහුණ ආවරණය කළ හිස්වැසුමක් පැලඳ සැකකරු සිටි තැනට මෝටර් රථයට ළඟා වී ඇත. මෝටර් රථයේ වීදුරුවක කොටසක් විවෘත කර සකස් කළ මුදල් පාර්සලය සැකකරුට දී ඇත.

සැකකරු එය ගන්නා අවස්ථාවේ මෝටර් රථයේ සැඟව සිටි සෙසු පොලිස් නිලධාරීන්ද එක්ව කොට්ඨාස විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියද පැලඳ සිටි හිස් වැසුමද ජංගම දුරකථනයද ඔහු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු උස මහත පුද්ගලයකු බැවින් ඔහු සමඟ පොරබදා එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් නිලධාරීහු පැවැසූහ.

පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක, පොලිස් සැරයන් ගුණසේකර (25582) හා පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රභාත් (78142), පෙරේරා (82442), වන්නිනායක (37928), නලින්ද (88292), පොලිස් කොස්තාපල් රියැදුරු ජයකොඩි (85438) යන නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇත.

අධිකරණ කටයුතු සඳහා සැකකරු සහ නඩු භාණ්ඩ කටාන පොලිසියට භාරදී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon