හිටපු ඇමැතිගේ ඉල්ලීම් ඉටුකරන්න බෑ මා ක්‍රියාත්මක කරන්නේ ජනපතිගේ නියෝග පමණයි

  👤  2486 readers have read this article !
By mawbima 2018-11-08

චාමර අමරසූරිය

තමා ක්‍රියාත්මක කරනුයේ ජනාධිපතිවරයාගේ නියෝග පමණක් බවත්, එම නිසා හිටපු අගමැතිට සහ හිටපු අමාත්‍යවරුන්ට පෙර පැවැති ආරක්ෂාව ලබාදෙන ලෙසට හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා කළ ලිඛිත නියෝගය ඉටු කළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කරයි.

පොලිස් මූලස්ථානයේ ඊයේ (07දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.


2015.11.09 වැනි දින අංක 2131/2015 දරන පොලිස්පති චක්‍රලේඛයට අනුව අදාළ මන්ත්‍රිවරුන්ට සහ ඇමැතිවරුන්ට ලබා දෙන ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් ලෙස ලබා දී ඇති බවද, පොලිස්පතිවරයා පැවැසීය.


පෙරේදා (06දා) පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දයා ගමගේ, නලින් බණ්ඩාර හා පාලිත තෙවරප්පෙරුම යන මහත්වරු නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ලිපියක්ද රැගෙන පොලිස් මූලස්ථානයට පැමිණ ඇතැයිද පොලිස්පතිවරයා කීය.


"හිටපු ඇමැතිවරුන්ට ආරක්ෂක නිලධාරීන් පෙර පරිදිම ස්ථාපිත කරන්න කියලා ඔවුන් දැනුම්දීමක් කළා. නමුත් මේ වන විට පවතින ප්‍රතිපාදනවලට අනුව, පොලිස්පති චක්‍රලේඛයේ ඇති පරිදි අවශ්‍ය ආරක්ෂක නිලධාරීන් මැති ඇමැතිවරුන්ට ලබා දීලා තියෙන්නේ. ඒ නිසා ඉදිරිපත් කර ඇති ලිපිවල කරුණු මේ අනුව මට ක්‍රියාත්මක කළ නොහැකි" යැයිද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කරුණු දක්වමින් සඳහන් කළේය.


ජනාධිපතිවරයා විසින් ඉකුත් 26 වැනි දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව පොලිසිය කටයුතු කරන බවද ඒ අනුව විධායකයේ ප්‍රධානී සහ නීතිය හා සාමය අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයා ලබා දෙන උපදෙස් හා නියෝග මත පමණක් කටයුතු කරන බවද, පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon