ස්ථාවරයේ වෙනසක් නෑ: බහුතරය පෙන්වන්න අපට පුළුවන්

  👤  2509 readers have read this article !
By mawbima 2018-11-08

ලක්ෂ්මී ජයකොඩි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තම පක්ෂයේ සහාය ලබා නොදෙන බව ඊයේ (07දා) නිල වශයෙන් දැනුම් දුන් බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවැසීය.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයන් ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හයදෙනාම ඊයේ ජනාධිපති නිල නිවෙසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ අතර එහිදී මෙම තීරණය දැනුම් දුන් බව මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව සිය පක්ෂයේ නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා හමුවූ බවද සිය දේශපාලන පක්ෂය සදාචාරාත්මක දේශපාලන පක්ෂයක් බැවින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මේ අවස්ථාවේ සහාය ලබාදිය නොහැකි යැයි ප්‍රකාශ කළ බවද ගනේෂන් මහතා කීය.


වත්මන් ආණ්ඩුවේ ඇමැති ධුර ලබාගැනීමටත් එසේත් නැත්නම් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයකදී තම පාර්ශ්වයට පක්ෂව ඡන්දය ලබාදීමටත් පියවර ගන්නැයි මෙම හමුවේදී ජනාධිපතිවරයා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයෙන් ඉල්ලා සිටි අතර සිය පක්ෂය මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් ආරක්ෂා කරන බව තමන් ජනාධිපතිවරයා හමුවේ පෙන්වා දුන් බවත් කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසුවේය.


තවද කඳුකරයේ ජනතාවගේ ඉල්ලීම හා අවශ්‍යතා වෙනුවෙන් පසුගිය කාලවලදී තමන් දේශපාලන තීන්දු තීරණ ගනු ලැබුවත් මේ අවස්ථාවේ ව්‍යවස්ථා විරෝධීව හා ප්‍රජාතන්ත්‍ර විරෝධීව ක්‍රියා කරන කවර හෝ පාර්ශ්වයකට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය නොලැබෙන බව ජනාධිපතිවරයාට අවධාරණය කළ බවද රාධා ක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


මෙම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝ ගනේෂන් මහතා මෙසේද කීය.


ජනාධිපතිවරයා බලයට පත් කිරීමට අපි විශාල දායකත්වයක් ලබා දුන්නා. ප්‍රචාරක කටයුතු කළා. එතුමා එය පිළිගත්තා. කෙසේ වෙතත් අපි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙනවා. ඒ වගේම කථානායකවරයාගේ ප්‍රකාශය අපි පිළිගන්නවා. අපේ ස්ථාවරයේ වෙනසක් නැහැ. අපිට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න පුළුවන්. කවුරු හරි එය කල් දානවා නම් ඒ අයට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එක තුන වසරේ ඉගෙන ගන්න ළමයාටත් තේරෙන දෙයක්." මේ අවස්ථාවට කම්කරු සංගමයේ නායක පලනි දිගම්බරම් හා වේලු කුමාර්, තිලකරාජ් සහ අරවින්ද කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon