19වැනි සංශෝධනයේ ‘33(2)ඇ’ අනුව ජනපතිට මැති සබය විසුරුවන්න පුළුවන්

  👤  2603 readers have read this article !
By mawbima 2018-11-08

පාර්ලිමේන්තුව කැඳවූ පසුව එහි ගැටුමක් ඇති කර රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්කිරීම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී තිබෙන නිසා අමාත්‍ය මණ්ඩලය නියමාකාරයට දිවුරුම්දීමෙන් අනතුරුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගන්නා ලෙස තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.


ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබෙන බවත් එය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 33 (2) ඇ ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙන බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ කිසියම් නීතියකින් හෝ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතලවලට අමතරව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීමට පාර්ලිමේන්තුව කැඳවීමට හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 33 (2) ඇ ව්‍යවස්ථාවෙන් බලය පැවැරී තිබෙන බව හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.


මූලික ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්තිවලට අනුකූලව 33 (2) ඇ ව්‍යවස්ථාව අනුව රට අරාජික වීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිතුමාට මෙම බලතල ලැබී තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.


විධායක ජනාධිපති ධුරයට හිමි මෙම බලය නැති කිරීමට 2002 වසරේදී එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහයක් ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමට වෑයම් කළ බවත් අගවිනිසුරු ලෙස තමා ඇතුළු 7 දෙනකුගෙන් සමන්විත ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ජනාධිපතිතුමා සතු එම බලය පාර්ලිමේන්තුවට ලබාදීමට එකඟ නොවූ බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.


එදා ශේ‍ර්ෂ්ඨාධිකරණය එම තීන්දුව ගත් නිසා රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් 2004දී එවකට සිටි ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මහ මැතිවරණයක් කැඳවීමට හැකි වූ බවත් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද එම තීරණයම ක්‍රියාත්මක කිරීමට කාලය තිබෙන බවත් හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon