මහ මැතිවරණයකට යන්න එජාපය කැමැති නෑ

  👤  2928 readers have read this article !
By mawbima 2018-11-09

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ ජනතා නියෝජිතයන් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ඉල්ලීමක් කළ බව සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද අලුත්ගමගේ මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

රටේ අති බහුතරයක් පොදු මහජනතාව සිටින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟ බවත් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු මහ මැතිවරණයකට ගියහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු බලවේගවලට පහසුවෙන් පාර්ලිමේන්තුවේ ආසන 130කට ආසන්න සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ හැකි බවද ආනන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබුණු ඡන්ද ප්‍රමාණය අනුව පාර්ලිමේන්තුවේ ආසන වෙන් කළහොත් එය 113 ඉක්මවා තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව එම පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන 18ක් අඩුවන බවත් ආනන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 60%ක ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිවන විට එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව ගත් විට හිමි වෙන්නේ 40%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් පමණක් බවද ආනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එම නිසා මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ දැඩි කැමැත්තක් දක්වන බවත් ඔවුන්ගේ ජන පදනම තවදුරටත් අඩුවෙමින් පවතින බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද අලුත්ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon