පොලිස් නිලධාරීන් පිරිසක් පාසල් සිසුවකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය මගේ අතකට මාංචු දාලා එළියට ඇදගෙන ගිහින් අතින් පයින් පහර දුන්නා -පහර කෑ ශිෂ්‍යයා කියයි

  👤  2709 readers have read this article !
By mawbima 2018-11-09

බළපිටිය - දම්සරී ලියනගේ

පහරදී තුවාල කිරීමේ සිද්ධියකට සම්බන්ධ යැයි කියන සැකකරුවකු වූ හමුදා සෙබළකු වෙනුවට එම නිවෙසේ සිටි 16 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන දෑතට මාංචු දමා බිම වැටෙන තුරු අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් ඇල්පිටිය පොලිස් අධිකාරි කොට්ඨාසයට අයත් තෙලිකඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

මේ පිරිමි දරුවාට පහරදීමෙන් අනතුරුව සැකකාර හමුදා සෙබළාට අයත් නිවෙසේ වීදුරු අල්මාරියක අගුළු කඩා එහි තිබෙන්නේ මොනවාදැයි පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කර යුද්ධ හමුදා සමූහ ඡායාරූපයක් හා වටිනා ලියකියවිලි රැසක් පොලිසිය විසින් බලෙන් රැගෙන ගොස් ඇති බව පවසමින් එම නිවැසියන් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබේ. සැකකාර හමුදා සෙබළා වන්නේ පහර කෑමට ලක්වූ දරුවාගේ මාමා බවද සිද්ධියට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය 5දා සවස 4.15ට පමණ තෙලිකඩ, ගිනිමැල්ලගහ දකුණ ප්‍රදේශයේ නිවෙසකට සුදු වෑන් රථයකින් තෙළිකඩ පොලිසියේ නිලධාරීන් අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ නිවෙසේ සිටි 16 හැවිරිදි පාසල් සිසුවාගේ බෙල්ලෙන් ඇදගෙන ගොස් දෑතට මාංචු දමා බිම වැටෙන තුරු අතින් පයින් පහර දුන් බව දරුවාගේ මව පවසයි. මෙසේ පොලිසියේ පහර කෑමට ලක්ව අත්අඩංගුවට පත්ව ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ පාසලක 11 වැනි ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන මෙවර අපොස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටීමට සූදානමින් පසුවන 16 හැවිරිදි දරුවෙකි.

එම සිසුවාගෙන් අප කළ විමසීමේදී ඔහු පැවැසුවේ, පසුගිය 5දා සඳුදා පාසල් ගොස් පැමිණ තමාගේ නිවෙසේ සිට කෙටිම අතුරු පාරෙන් මාමලාගේ ගෙදරට ගිය බවත් සවස 4.15ට පමණ පොලිසියෙන් කීපදෙනෙක් යන්නේ කෙහේදැයි තමන්ගේ විමසා පහර දුන් බවත්ය.

එම සිසුවා සිද්ධිය සම්බන්ධයෙන් මෙසේද කීය.

"අපේ ගෙදර සිට මාමලාගේ ගෙදරට යන පාර තියෙන්නේ මාමලාගේ ගේ පිටුපසින්. මම එතැනින් ගොස් මාමලාගේ ගෙදරට යන්න කලින් ගෙදර ආසන්නයේ පිටුපස හිටපු පොලිසියේ දෙන්නෙක් ඇවිත් මගෙන් ඇහුවා උඹේ නම මොකද්ද කියලා. මම නම කිව්වාම උඹ කොහෙද යන්නෙ කියලා ඇහුවා. මම ඒකටත් උත්තර දුන්නම මගේ කමිසෙ කොලර් එකෙන් අල්ලාගෙන අපේ ගේ පිටුපස ‍ෙදාරෙන් ගේ ඇතුළට ඇදගෙන ආවා. උස මහත බඩ තියෙන සිවිල් ඇඳුමින් සැරසුණු මේ පුද්ගලයා තෙලිකඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බව මම පස්සේ පොලිසියේදී දැනගත්තා.

අපේ ගේ ඇතුළේදී මම අල්ලාගෙන හිටපු සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරියා අනිත් අයට කිව්වා "හෑන්ඩ් කප්" ගේන්න කියලා. අනේ මගේ එක අතකට මාංචුවක් දාලා එළියට ඇදගෙන ගිහිල්ලා මට අතින් පයින් පහර දීලා වාහනය ළඟට ගෙනියන්න කලින් අත් දෙකටම මාංචු දැම්මා. ඊට පස්සේ කඳු ගැටයක පිහිටි මාමලාගේ ගෙදර ඉඳලා පහළට අරගෙන යන කොට අර නිලධාරියා මගේ පස්ස පැත්තට පයින් ගැහුවා. එවිට මම බිම වැටුණා. මම දෑත් එකතු කරලා වැඳලා කිව්වා ගහන්න එපා කියලා. ගෙදර හිටපු නැන්දා කිව්වා අනේ සර් ගහන්න එපා ඔය ළමයා ඉස්කෝලේ යන ළමයෙක් කියලා. මේ සැරේ විභාගෙ ගන්නවා කියලත් නැන්දා කිව්වා.

පොලිස් නිලධාරියා ඒවා තඹ ‍ෙදායිතුවකට ගණන් නොගෙන මාව ඇදගෙන ගිහින් වාහනයට දැම්මා. පස්සේ පොලිසියේ දෙවැනියා මගෙන් ඇහුවා අරූගේ මොනවද ගෙදර තියෙන්නේ කියලා. මම කිව්වා දන්නෑ කියලා.


පොලිසියෙන් ගේ ඇතුළට ගිහිල්ලා මාමාගේ වීදුරු කබඩ් එකේ ලොක් එක කඩලා ඒකෙ තිබිච්ච ෆොටෝ එකක්, තවත් ලියකියවිලි වගයක් පොලිසිය අරගෙන වාහනයට දා ගත්තා. මම ඒවා ඔක්කොම බලාගෙන හිටියා. එහෙම පොලිසියේ මහත්තුරු මාමාගේ වීදුරු කබඩ් එකේ තිබිච්ච බඩු ගත්තේ වාහනේ තිබිච්ච උල් ආයුධවලින් වීදුරු කබඩ් එකේ ලොක් එක කඩලා.

ඊට පස්සේ වාහනෙන් මම පොලිසියට ගෙනිහිං කූඩු කළා. හවස 4.40 ඉඳලා රාත්‍රි 8 පමණ වෙනකන් මම කූඩුවේ හිටියා. ඒ ඉන්න අතරතුර අපේ අම්මා, මගේ සහෝදරයෝ තුන්දෙනා හා එකම සහෝදරිය, වයස අවුරුදු 13,12,07 මල්ලිලා තුන්දෙනා අවුරුදු 3 1/2 එකම නංගි එක්ක මගේ අම්මා අඬ අඬා පොලිසියට ආවා. කිසිම වරදක් කරලා නැති මගේ දරුවට ඇයි තඩි ගහලා ඇදගෙන ඇවිත් කූඩුවට දැම්මේ කියලා අම්මා පොලිසියෙන් ඇහුවා.
පවුලේ වැඩිමලා විදියට මම කූඩුවේ අඬ අඬා ඉන්නකොට පොලිසියේ දෙවැනි මහත්තයා අපරාධ අංශයේ ස්ථානාධිපති මගේ අම්මටත් තිත්ත කුණුහරපෙන් බැනලා මේකි කූඩුවට දාපන් කියලා තවත් නිලධාරිනියකට නියෝග කළා. අම්මා කිව්වා මගේ දරුවොත් එක්ක මමත් කූඩු කරන්න කියලා. මම අම්මට පේන්න ඇඬුවේ නෑ. මොකද මගේ අම්මා හෘද රෝගියෙක් නිසා.

පස්සේ ගුවන් හමුදාවේ ඉන්න මගේ මාමා පොලිසියට ඇවිල්ලා මගේ තාත්තත් හමුදා සෙබළෙක් කියලා විස්තරේ කිව්වා. ඊට පස්සේ මාධ්‍යයෙනුත් පාසල් ශිෂ්‍යයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවාද කියලා පොලිසියෙන් අහපු නිසා මට ඇප දුන්නා. පොලිස් පොතේ ලියලා අස්සන් කරලා මම ගෙදර ආවා. එදින පොලිසිය මෙම නිවෙසට ගොස් ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙර පහරදී පුද්ගලයකුට තුවාල සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ හමුදා සෙබළකු අත්අඩංගුවට ගැනීමට බව පොලිසිය කියනවා. අපේ තාත්තත් මාමාත් හමුදාවේ වැඩ කරන්නේ.

තෙලිකඩ පොලිස් ස්ථානාධිපති නිමල් ගමගේ මහතාගෙන් මේ ගැන විමසූ විට මෙසේ පැවැසීය.

පහරදීමකට අදාළ ඔය කියන සිද්ධියට සම්බන්ධ හමුදා සොල්දාදුවකු අත්අඩංගුවට ගැනීමට අපේ පොලිසියේ නිලධාරීන් පිරිසක් එම නිවෙසට ගොස් තිබෙනවා.

ඒ ගිය අවස්ථාවේ පාසල් සිසුවකු බව නොදැන කෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සුළු වරදක් එම පොලිස් නිලධාරීන්ගෙන් සිදුවී තිබෙන බව මට දැනගන්නට ලැබුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon