ගුරුගොඩ ඔය ඇල්ලේ ගිලුණු ශිෂ්‍යයාගේ සිරුර මෙතෙක් හමු වී නෑ

  👤  2549 readers have read this article !
By mawbima 2018-11-09

දමුණුපොළ - චමින්ද ජයලත්

බුලත්කොහුපිටිය පොලිස් වසමේ මොරොන්තොට ගල්ගෙඩියාන ගුරුගොඩ ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි ශිෂ්‍යයා ඊයේ (8දා) සවස් වනතුරුත් සොයාගැනීමට නොහැකි වූ බව බුලත්කොහුපිටිය පොලිසිය කියයි.


මෙලෙස අතුරුදන්ව ඇත්තේ වරකාපොළ ඇත්නාවල ග්‍රාමයේ පදිංචි වරකාපොළ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ 12 ශේ‍ර්ණියේ ගණිත අංශයේ ඉගෙනුම ලබමින් සිටි කරුණාමුණිගේ අනුජ දෙව්රංග ප්‍රභාෂ්වර නමැති 17 හැවිරිදි උසස් පෙළ ශිෂ්‍යයෙකි.

2017 වර්ෂයේ දෙසැම්බර් මස පැවැති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිට විෂයයන් නවයටම ඒ සාමාර්ථ 9ක් ලබාගෙන ඇති බවද අනාවරණය වේ. ඉකුත් 6දා දීපාවලි දිනයදා අමතර පන්ති යන බව පවසා කෑගල්ල නගරයට පැමිණ තවත් ශිෂ්‍යයන් 7 දෙනකු සමඟ බුලත්කොහුපිටිය පොලිස් වසමේ ගල්ගෙඩියාන ගුරුගොඩ ඔය ඇල්ල වළට දහවල් 12ට පමණ දිය නෑමට ගොස් ඇත.

දිය නා අවසන් කර සිටියදී එක් ශිෂ්‍යයකුගේ ජංගම දුරකථනය ඇල්ල වළට වැටීමෙන් පසු මෙම ශිෂ්‍යයා දුරකථනය ගැනීමට වළට බැස ඇත. ශිෂ්‍යයා එක්වරක් අත්දෙක උස්සා දියෙන් උඩට පැමිණ ආපසු දිය යට නොපෙනී ගිය බව අසල සිටි ශිෂ්‍යයෙක් පොලිසියට ප්‍රකාශ කර ඇත. පසුව 7දා පෙරවරුවේ සිට ප්‍රදේශයේ ජනයා කොළඹ රංගල ශ්‍රී ලංකා නාවික නෞකා අංශයට දැන්වීමෙන් පසු නිලධාරියකු ඇතුළු නාවිකයන් 6 දෙනකු 8දා පෙරවරු 10 සිට අතුරුදන්ව සිටි ශිෂ්‍යයා සෙවීමට කටයුතු කර ඇත.

ඊයේ 8දා යළි ප්‍රදේශවාසීන් හා නාවිකයන් විසින් සෙවීම් කටයුතු කළද සොයාගැනීමට නොහැකි වූ අතර තවමත් ගුරුගොඩ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් බුලත්කොහුපිටිය පොලිසියේ පොලිස් සැරයන්වරුන් වන කුලතුංග (23030), විජේසිංහ (33118), පොලිස් කොස්තාපල්වරුන් වන තණ්දෙණිය (82175), තරුෂ (92684) පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon