පුළුවන් නම් දින දෙකකදී බලය පෙන්වන්න එංගලන්තයෙන් ලංකාවට අභියෝගයක්

  👤  2670 readers have read this article !
By mawbima 2018-11-09

සිරිනාම රාජපක්‍ෂ, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මෙහි පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ 3වැනි දිනය ලෙස ඊයේ (08දා) තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 462ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 15ක් ලබා සිටින්නේ දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා නොදැවී පිළිවෙළින් ලකුණු 7ක් සහ 8ක් ලබා සිටිමිනි.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 139ක් ඉදිරියෙන් සිටි එංගලන්ත කණ්ඩායම දෙවැනි ඉනිමේදීත් කඩුලු 6කට ලකුණු 322ක් රැස්කර ගනිමින් ඉනිම අත්හිටුවා ලකුණු 462ක අසීරු ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ ගාල්ල ක්‍රීඩාංගණයේදී සිව්වැනි ඉනිමකදී හඹා යායුතු වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමචාණය සටහන් කරමිනි. කෙසේ වෙතත් ඊයේ තරගයට පසුව පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා දඟපන්දු යැවීමේ පුහුණුකරු පියල් විජේතුංග කියා සිටියේ තවමත් මෙම තණතීරුවේදී ලබා දී ඇති ඉලක්කය හඹායෑමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාව ඇති බවට තමන් විශ්වාස කරන බවය.

කිසිදු පිතිකරුවකු නොදැවී ලකුණු 38ක් ලබා සිටි මොහොතේ ඊයේ (08දා) තුන්වැනි දිනයටත් දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු රැස්කිරීමට පැමිණි රොරී බර්න්ස් සහ කීටන් ජෙනින්ස් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 60ක් වූ මොහොතේ ඊයේ දිනයේ යැවූ 11 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවෙන් ලකුණක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ලකුණු 23ක් ලබා සිටි බර්න්ස් දුවද්දී දවාගැනීමකට හසුකර ගන්නට දිමුත් කරුණාරත්න සමත් විය.

ඊට තවත් ලකුණු 7ක් එංගලන්ත ලකුණු පුවරුවට එක්වද්දී 27 වැනි පන්දුවාරය යැවූ දිල්රුවන්ගේ 3වැනි පන්දුවට රංගන අතට උඩපන්දුවක් දීමෙන් මොයින් අලි ලකුණු 7කට දැවී ගිය අතර තවත් ලකුණු 7ක් මුළු ලකුණු සංඛ්‍යාවට එකතු වන විට ලකුණු 3ක් ලබා සිටි නායක රූට්ද දික්වැල්ල අතට උඩපන්දුවක් දී දැවී ගියේ 32වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේදීය. ඒ අනුව එංගලන්ත පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද නායකයා දවා ගැනීමේ අවස්ථාව රංගනට උදාවූ අතර ඊයේ දිවා භෝජනයට නතර කරන විට එංගලන්තය 111 ට 3ක් ලෙස සටහන් වූයේ ජෙනින්ස් ලකුණු 60ක්ද, බෙන් ස්ටොක්ස් ලකුණු 14ක්ද ලබා නොදැවී සිටි නිසාය.

කෙසේ වෙතත් දිවා භෝජනයෙන් පසුව තම 15 වැනි ටෙස්ට් අර්ධ ශතකය පසුකරමින් ලකුණු 62ක් ලබා ජෙනින්ස් සමඟ 4වැනි කඩුල්ලට ලකුණු 107 සබඳතාවක් ගොඩනඟා සිටි ස්ටොක්ස් දවා ගත් දිල්රුවන් මෙම තරගයේ ඔහුගේ 7 වැනි කඩුල්ල සටහන් කරගත් අතර ජෙනින්ස් හා බට්ලර් එක්ව 5 වැනි කඩුල්ලට තවත් ලකුණු 77ක සබඳතාවක් පිහිටුවා තිබියදී ලකුණු 35ක් ලබා සිටි බට්ලර් දෙවැනි ඉනිමේ හේරත්ගේ 2 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ සිලි පොයින්ට්හි සිටි කෞෂාල් සිල්වාගේ අනගි උඩපන්දු රැකීමක් නිසාය.

එහෙත් බට්ලර් ලකුණු 11ක් ලබා සිටි මෙහොතේදී ධනංජය ද සිල්වා යැවූ පන්දුවකට දික්වැල්ල අතින් ස්ටම්ප් කිරීමක් දික්වැල්ලට වැරැදුණ අතර ඉන් පෙර ඉනිමේ 76 වැනි පන්දුවාරයේ 2 වැනි පන්දුවේදී කීටන් ජෙනින්ස් තම 2 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය.

ආරම්භක පිතිකරු ජෙනින්ස් ඒ සඳහා මිනිත්තු 291කදී පන්දු 231කට මුහුණ දී තිබූ අතර ඉන් පසුව ඔහුට එක්වූ පළමු ඉනිමේ ශතකලාභියාවූ බෙන් ෆෝක්ස් 6වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 64ක සබඳතාවක් ගොඩනඟා දැවී යන විට ෆෝක්ස් පන්දු 34කදී ලකුණු 37ක් ලබා තිබිණි. ඉන් පසුව ඉනිමේ 93වැනි පන්දුවාරය අවසානයේදී ජෙනින්ස් ලකුණු 146ක් නොදැවී ලබා සිටියදී එංගලන්ත දෙවැනි ඉනිම ඊයේ පස්වරු 4.30ට පමණ අත්හිටුවා ජයග්‍රහණය කිරීමට නම් ලකුණු 462ක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවට අසීරු අභියෝගයක් ලබා දුනි.

ඡායාරූප _ තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon