වෙළෙඳ සේවා වොලිබෝල් අවසන් තරග 10දා සිට ජයග්‍රාහකයන්ට බරටම තෑගි

  👤  2477 readers have read this article !
By mawbima 2018-11-09

වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය විසින් 7 වැනි වරටත් සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග මෙම මස 10 සහ 11 දෙදින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ශූරතා කුසලාන 'ඒ' කොටසේ සහ සුපර් ලීග් යන කාණ්ඩයන්ගේ අවසන් තරග පැවැත්වීමට නියමිතය.

ඒ අනුව 10 වැනිදා පස්වරු 1.00ට ආරම්භ වන 'ඒ' කොටසේ අවසන් තරගවලදී ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය හා එස්කිමෝ ෆැෂන් නිට්වෙයාර් පෞද්ගලික සමාගම් කණ්ඩායම් පිරිමි අංශයේ ශූරතාව වෙනුවෙන්ද මැලිබන් බිස්කට් ආයතන සහ පානදුර මාස් යුනිචෙලා කණ්ඩායම් කාන්තා අංශයේ ශුරතාව වෙනුවෙන් ද තරග වදිනු ඇත.

තවද 11 වැනිදා පෙරවරු 8.00 සිට ශූරතා කුසලාන සහ සුපර් ලීග් කාණ්ඩයේ අවසන් තරග පැවැත්වේ. එහිදී ඕෂන් ලංකා පෞද්ගලික සමාගම සහ එක්ස්පෝ ලංකා කණ්ඩායම් පිරිමි ශූරතා කුසලාන වෙනුවෙන් තරග වදින අතර කාන්තා කුසලාන වෙනුවෙන් ඔමේගා ලයින් ක්‍රීඩා සමාජය සහ මාවතගම මාස් කැෂුවලයින් එකිනෙකා හමුවෙයි. එමෙන්ම සුපර්ලීග් කාණ්ඩයේ පිරිමි අංශයේ ශූරතාව වෙනුවෙන් ටීජේ ලංකා සමාගම සහ කටුනායක මාස් ක්‍රීඩා ලිෂර්ලයින් කණ්ඩායම් තරග වදින අතර එහි කාන්තා ශූරතාව වෙනුවෙන් මීරිගම බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලියුෂන්ස් සහ මාවතගම මාස් කැෂුවලයින් කණ්ඩායම් තරග වැදීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ එක් එක් කාණ්ඩයේ ශූරයන්ට, අනුශූරයන්ට සහ තෙවැනි ස්ථාන හිමි කරගන්නා කණ්ඩායම්වලට කුසලාන සමඟ ත්‍යාග මුදල් හිමිවීම ද විශේෂත්වයකි. ඒ අනුව රුපියල් මිලියන 1.5කට අධික දැවැන්ත ත්‍යාග මුදලක් ජයග්‍රාහක කණ්ඩායම් අතර බෙදී යයි. එමෙන්ම එම කණ්ඩායම්වල දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම ක්‍රීඩිකාව, දක්ෂතම පන්දු සකසන්නා, දක්ෂතම පන්දු සකසන්නිය, දක්ෂතම ප්‍රහාරකයා සහ දක්ෂතම ප්‍රහාරිකාව යන විශේෂ සම්මාන පිරිනැමෙන අතර දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යතුරුපැදි හා ස්කූටර් පිරිනැමීම මෙම තරගාවලියේ වටිනාකම තවත් ඔප්නංවයි.

සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි අංශයේ ශූරතාවට රුපියල් 1,50,000ක්ද, අනුශූරතාවට රුපියල් 1,00,000ක්ද, තෙවැනි ස්ථානය සඳහා රුපියල් 50,000ක්ද පිරිනැමෙන අතර එහි කාන්තා අංශයේ ශූරතාවට රුපියල් 1,00,000ක්ද අනුශූරතාවට රුපියල් 50,000ක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 25,000ක්ද, පිරිනැමේ.

තවද පිරිමි ශූරතා කුසලානය දිනාගන්නා කණ්ඩායමට රුපියල් 1,00,000ක මුදලක් ද, අනුශූරතාවට රුපියල් 5,00,00ක්ද පිරිනැමෙන අතර තෙවැනි ස්ථානය වෙනුවෙන් රුපියල් 25,000ක ත්‍යාග මුදලක් හිමිවෙයි. එමෙන්ම කාන්තා ශූරතා කුසලානය දිනාගන්නා කණ්ඩායමට රුපියල් 80,000ක්, අනුශූරතාවට රුපියල් 40,000ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 25,000ක්ද, ලෙසින් ත්‍යාග මුදල් පිරිනැමේ. මේ අතර ඒ කොටසේ පිරිමි හා කාන්තා දෙඅංශයේම ශූරතාව වෙනුවෙන් රුපියල් 30,000ක්ද අනුශූරතාවට රුපියල් 20,000ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 10,000ක් පිරිනැමීමද විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon