මොහු කාගේ කවුද රාගම දුම්රියපොළේ අතරමං කර දමා ගිය වයෝවෘද්ධ පියෙක්

  👤  2291 readers have read this article !
By mawbima 2018-11-14

කැලණිය - කුසුම් එස්. හැන්නදි

ගමනක් යෑමට දුම්රිය ස්ථානයට රැගෙන යන මුවාවෙන් ත්‍රිරෝද රථයකින් රාගම දුම්රිය ස්ථානය අසලට ගෙනැවිත් අතරමං කර දමා ගිය පුද්ගලයකු අපට දැකගන්නට ලැබිණි. තමා බුලත්කොහුපිටිය ප්‍රදේශයේ සිට පැමිණි බවත් නම විලියම් බවත් ඇදුම රෝගයෙන් පෙළෙන අත්පා වාරු නැති අයකු බවත් ඉතාම අසරණව දෑසේ පුරවා ගත් කඳුළු පිසලමින් පවසන අයුරු දකින කවුරුත් සිය වයෝවෘද්ධ මවුපියන්ට මෙවැනි අපරාධ කරන දරුවන්ට ශාප කරති.

පුරා දින 3ක් මුළුල්ලේ එක තැනක වැටී මලමුත්‍රා ගොඩක දුගඳ හමමින් සිටි මේ අසරණ රෝගියාට පිහිට වී ඇත්තේ රාගම දුම්රියේ ස්ථානයේ ආරක්ෂක අංශයේ සේවකයන් කීප දෙනෙක් හා අවට සිටින ත්‍රිරෝද රථ රියැදුරන් කීප දෙනෙකි. දරුවන් සිටීද යන ප්‍රශ්නයට කිසිම පිළිතුරක් නොදෙන ඔහු සමාජයෙන් වසන් කරන යමක් තිබේ දැයි සැකයක්ද මතුවේ.

නිරතුරුවම කවුදෝ එනතෙක් මඟ බලන්නාක් මෙන් අවට සෝදිසි කරන මොහු කාගේ කවුදැයි ඔබ දන්නේ නම් ඔබේ උපකාරය ඔහුට ඇවැසි මොහොත මෙය වනවා නොඅනුමානය. සිහිකල්පනාව මඳ කමක්ද ඇතැයි සිතිය හැකි මේ අසරණ පුද්ගලයා රාගම රෝහලට ප්‍රතිකාර පිණිස රැගෙන ගිය නමුත් කාත් කවුරුත් නොමැති අයකු බව පැවැසූ හෙයින් රෝගියා භාර ගැනීම රෝහලෙන් ප්‍රතික්ෂේප කළ බව අසල සිටි අයෙක් පැවැසීය.

කෙසේ නමුත් ඡායාරූපයේ දැක්වෙන මේ විලියම් නමැත්තා දන්නා හඳුනන අයකු සිටී නම් නැවත ඔහුට ඔහුගේම අයකු වෙත යෑමට හැකිවනු ඇතැයි සිතිය හැකිය. රාගම පොලිසියට හා 119 පොලිස් හදිසි ඇමැතුම් අංශයටද මේ පිළිබඳව දැනුම් දී ඇති අතර මෙලෙස තම මවුපියන් අතරමං කරන දරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතුව ඇතැයි විලියම්ගේ කඳුළු කතාව ඇසූ දුම්රිය මගීහු පැවැසූහ.

රාගම දුම්රිය නැවතුමට මීට දින කීපයකට පෙර ත්‍රිරෝද රථයකින් ගෙනැවිත් දමා යන අයුරු දුටු කිහිප දෙනකු පැවැසුවේ ගමනක් යෑමට තවත් පිරිස රැගෙන ඒම පිණිස මෙම පුද්ගලයා මෙහි දමා යන වගක් සිද්ධිය දුටු අය සිතා ඇති බවකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon