ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලසුම මෙය ඉන්දියානු මාෆියා සහ ත්‍රස්තවාදී කල්ලිවල සැලසුමක් විය හැකි බව සැකකරනවා

  👤  2254 readers have read this article !
By mawbima 2018-11-14

අමිල අබේරත්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ සැලසුමට අදාළව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ප්‍රශ්න කළ මර්සිලී තෝමස් නමැති ඉන්දියානු ජාතිකයා මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (13දා) නියෝග කළේය.
රැඳවුම් නියෝග මත තබාගෙන ඉන්දියානු ජාතිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම අවසන් වීම මත ඉන්දියානු ජාතිකයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කොටුව අධිකරණයට ඉදිරිපත්කර තිබූ අතර එම අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

තමන් නිර්දෝශී බවත්, කිසි ලෙසකින් අදාළ සැලසුමට සම්බන්ධ නැති බවත් එවැනි සැලසුම් සිදුකරනුයේ ඉන්දියානු මාෆියා කල්ලි සහ ත්‍රස්තවාදී කල්ලි බවට ඉන්දියානු ජාතිකයා මහෙස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කළේය.
මෙය ඉන්දියානු මාෆියා සහ ත්‍රස්තවාදී කල්ලිවල සැලසුමක් විය හැකි බවට සැකකරන බද ප්‍රකාශ කර සිටියේය.

තමන් නාමල් කුමාර හමු වුවද එවැනි සැලසුමක් සඳහා හමුනොවූ බවද විවිධ තොරතුරු දීම සඳහා තමන් පොලිස්පති ඇතුළු ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් මුණගැසී ඇති බවද ඉන්දියානු ජාතිකයා මහෙස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කර සිටියේය.

කිසිදු චෝදනාවක් නොමැතිව තමන්ව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ බවද තමන් නිර්දෝෂී පුද්ගලයකු වන නිසා ඇප නියම කිරීම පමණක් නොව තමාව රැඳවුම් කඳවුරකට යොමුකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉන්දියානු ජාතිකයා ඉල්ලා සිටියේය.

තමන්ට මිලියන 6100ක පමණ වත්කමක් ඉන්දියාවේ තිබෙන බවද ඉන්දියානු මාෆියා සහ ත්‍රස්තවාදී කල්ලිවලින් තර්ජන තිබෙන නිසා මෙරටට පැමිණි බවද ඉන්දියානු ජාතිකයා මහෙස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ ඉන්දියානු ජාතිකයා මෙරට විවිධ පුද්ගලයන් ගණනාවකට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බවත් වවුනියාව, කිලිනොච්චිය ඇතුළු මෙරට ප්‍රදේශ ගණනාවක සංචාරය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත්ය. ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බවද රංජිත් මුණසිංහ මහතා මහෙස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරිපත් වී ඇති කරුණු සහ චෝදනා අනුව ඇපදීමට හැකියාවක් නොමැති බව ඉන්දියානු ජාතිකයාට දන්වා සිටිමින්, ඉන්දියානු ජාතිකයා මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ඝාතනය කිරීමේ සැලසුමට අදාළව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට චෝදනා එල්ල වී ඇති අතර සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දීර්ඝව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය මඟින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon