කීර්ති නාමයට අපහාස කළැයි රන්ජන් රාමනායකගෙන් රුපියල් කෝටි 25ක් ඉල්ලා ශෂී වීරවංශ නඩු පවරයි

  👤  2356 readers have read this article !
By mawbima 2018-11-14

කුමුදු උපුල් ශාන්ත

තම වැඩිමහල් පුතාගේ හිතවතකු වන අසල්වැසි තරුණයකු මීට වසරකට පමණ පෙර රාත්‍රියක තම නිවෙස තුළ නිදාගෙන සිටියදී හදිසියේ මියගොස් සිටි සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන රංජන් රාමනායක මහතා තෙවැනි පාර්ශ්වයකට ඇසෙන සේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හමුවේ සිදුකර තිබෙන අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් තම කීර්ති නාමයට සිදුව තිබෙන අපහාසය හා චිත්ත පීඩාව වෙනුවෙන් ඔහුගෙන් තමන්ට රුපියල් කෝටි විසි පහක (25,00,00,000) වන්දියක් අයකර දීමට නියෝගයක් පනවන ලෙස ඉල්ලමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශිර්ජා උදයන්ති හෙවත් ශශී මහත්මිය නුගේගොඩ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

හෝකන්දර දකුණ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන වීරවංශ මහත්මිය එකී නඩුව දිසා අධිකරණය හමුවේ පවරා ඇත්තේ ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා මඟින් පෙනී සිටිමිනි.

සිය නීතිඥවරයා මඟින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් වීරවංශ මහත්මිය පවසා ඇත්තේ 2016 ඔක්තෝබර් මස 26 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී සිය වැඩිමහල් පුතාගේ හිතමිතුරන් කීපදෙනකු සිය නිවෙසට පැමිණි බවත් එසේ පැමිණි අසල්වැසි තරුණයකු එදින රාත්‍රියේ සිය පුතාද සමඟ නිවෙසේ නිදා සිටියදී හදිසියේ මියගොස් සිටි බවත්ය.

එකී සිද්ධිය පදනම් කරගෙන එවකට නියෝජ්‍ය අමාත්‍යවරයකුව සිටි රංජන් රාමනායක මහතා 2017 ජනවාරි මස 11 හෝ ඊට ආසන්න දිනකදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ බවද එකී මාධ්‍ය සාකච්ඡාව සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගි වී සිටි බවද ඇය පවසයි.

එම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණ කරුණු විවිධ මාධ්‍ය ඔස්සේ විශෘල ලෙස ප්‍රචාරය කර තිබුණු බවද රාමනායක මහතා එකී ප්‍රකාශය සිදුකර ඇත්තේ එම ප්‍රකාශයට විශාල ප්‍රචාරයක් ලැබෙන බව දනිමින් බවද වීරවංශ මහත්මිය පවසා සිටියි.

තමා එකී තරුණයා සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ බවටත් ඔහුගේ මරණයට තමා සම්බන්ධ බවටත් ඔහුගේ මරණය වසන් කිරීමට තමා කටයුතු කළ බවටත් ඇතුළු අසත්‍ය කරුණු කාරණා රැසක් රාමනායක මහතා එකී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බවද ඇය පෙන්වාදී තිබේ.

විත්තිකාර රාමනායක මහතා විසින් ඉහත කී ප්‍රකාශය සිදුකර ඇත්තේ තමා දන්නා හඳුනන පුද්ගලයන් ඇතුළු මහජනතාව අතරේ තමා පිළිබඳ අගෞරවයක්, පිළිකුලක් හා කොන් කිරීමක් සිදු කිරීමේ අදහසින් මෙන්ම සමච්චලයක් ඇති කිරීමේ අදහසින් බවද ඇය කියා සිටියි.

විත්තිකරු විසින් සිදුකර තිබූ එකී ප්‍රකාශය විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් හා පළවී තිබීමෙන් පසුව තමාගේ පවුලේ අයද ඥාති හිතමිතුරන්ද සිය ස්වාමිපුරුෂයාගේ දේශපාලන සගයන් හා ආධාරකරුවන්ද එකී ප්‍රකාශය සම්බන්ධයෙන් තමාගෙන් විමසූ බවද එමඟින් තමාට බලවත් ලැජ්ජාවක් හා අපහසුතාවක් සිදුවූ බවද ඇය පෙන්වා දී තිබේ.

තමා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ලත් 'රන්දුනු එක්ස්පෝර්ට් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්‍ෂවරියක් මෙන්ම ත්‍රිමාන චිත්‍ර ශිල්පිනියක් හා ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වශයෙන් කටයුතු කරන බවද ටෙලි නාට්‍ය කීපයකට නාට්‍ය සංකල්පය හා තේමා ගීත රචනා කර ඇති බවද ඇය පවසයි.

එසේ කීර්ති නාමයක් දිනා සිටින තමාගේ චරිතයට කැළලක් වන ආකාරයට තමන්ට චිත්ත පීඩා ගෙන දීමට විත්තිකරු විසින් සිදුකර තිබෙන එකී අසත්‍ය ප්‍රකාශයට වන්දි වශයෙන් ඔහුගෙන් තමාට රුපියල් කෝටි 25ක මුදලක් අයකරදීමට නියෝගයක් ලබාදෙන ලෙස සිය නීතිඥවරයා මඟින් ඉල්ලා සිටී. ඇය වැඩි දුරටත් අධිකරණය හමුවේ පවසා ඇත්තේ තම ස්වාමිපුරුෂයා වන අමාත්‍ය විමල් වීරවංශ මහතා විත්තිකරු නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂයට හා එහි නායකයන්ට දැඩි ලෙස විවේචනය කරන අයෙක් වීම හේතුවෙන් විත්තිකරු තමාට අපහාස කිරීමේ හිංසන චේතනාවෙන් ද්වේශ සහගත ලෙස විත්තිකරු මාධ්‍ය හමුවේ එකී ප්‍රකාශය සිදුකර තිබෙන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon