එළැඹෙන මැතිවරණයට දෙමළ පක්ෂවලින් වෙනම සන්ධානයක්

  👤  2148 readers have read this article !
By mawbima 2018-11-14

වවුනියාව -

රසාදි චතුරංගි ගමගේ

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සඳහා තරග කිරීමට දෙමළ ජාතික සන්ධානයට අලුතින් පක්ෂ කීපයක් එකතු කරගෙන නව සන්ධානයක් බිහි කරන බව ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (13දා) යාපනයේදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළේය.

මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේ මාටින් පාරේ පිහිටි පක්ෂ කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කොට ඇත්තේ මේ පිළිබඳව දැනටමත් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ වන ටෙලෝ, ප්ලොට් හා ඉලංකෙයි තමිල් අරසු කච්චි යන පක්ෂ සාකච්ඡා කීපයක් පැවැත්වූ බවයි.

එම සාකච්ඡාවලට අනුව ඒ සෑම පක්ෂයක්ම මේ වන විට සෙසු දෙමළ දේශපාලන පක්ෂ හා සාකච්ඡා ආරම්භ කොට ඇති බවද හිටපු මන්ත්‍රිවරයා සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් හිටපු මන්ත්‍රිවරයා සියලුම දෙමළ දේශපාලන පක්ෂ එකමුතු වී මෙවර මහ මැතිවරණයට මුහුණ දිය යුතු බවට ගෙන ඇති තීරණය අනුව සෙසු දෙමළ දේශපාලන පක්ෂවලින් ඉතා සුබදායක පිළිතුරු ලැබෙමින් පවතින බවද සේනාධිරාජා මහතා පැවැසීය.

මේ අවස්ථාවේදී දෙමළ දේශපාලන පක්ෂ බෙදී වෙන්වී සිටීමේ ඇති අවදානම සම්පන්දන් මහතා පෙන්වා දී ඇති ආකාරයෙන්ම සෙසු දෙමළ දේශපාලන පක්ෂද තේරුම් ගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සමඟද මේ වන විට සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවලදී ඔහු පැවැසුවේ උදාවී ඇති තත්ත්වය බැරෑරුම් බැවින් සියලු දෙනාම එක්ව යම් තීරණයකට පැමිණිය යුතු බවත් මාවෙයි සේනාධිරාජා මහතා පැවැසීය.

මේ අනුව විග්නේශ්වරන් මහතාගේ ටී.එම්.කේ. පක්ෂයේ සහායද දෙමළ ජාතික සන්ධානයට ලැබෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon