ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් මැතිසබය විසුරුවා හැරීම දෙසැ: 7තෙක් අත්හිටුවයි

  👤  2093 readers have read this article !
By mawbima 2018-11-14

කමල් මහේන්ද්‍ර වීරරත්න

ඉකුත් 9 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම ඊයේ (13දා) ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් දෙසැම්බර් මස 7 වැනි දින දක්වා සති 3කට තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ශේ්‍රෂ්ඨාධිකරණය එලෙස තාවකාලික නියෝගයක් නිකුත් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරමින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් හා එකී පෙත්සම්වලට එරෙහිව ඉදිරිපත් වූ මැදිහත්කාර පෙත්සම් 6ක්ද විභාගයට ගැනීම සඳහා දෙසැම්බර් 04, 05 හා 06 යන දිනයන් නියම කරමිනි.


එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය හා එජාප මහලේකම් කබීර් හෂීම්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක, එක්සත් ජාතික පෙරමුණේ ලාල් විජේනායක, මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන ආර්.

රත්නජීවන්, හූල් ජී.සී.ටී. පෙරේරා යනාදීන්ද විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාගේ නියෝගයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකොට තිබූ අතර එකී පෙත්සම්වලට එරෙහිව කරුණු දැක්වීම සඳහා අමාත්‍ය වාසුදේව නානායක්කාර, මහාචාර්ය චන්න ජයසුමන, මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය ජයත් වැල්ලවත්තගේ, වෛද්‍ය සිසිර සේන ද සිල්වා, නීතිඥ ප්‍රේමනාත් සී. ‍ෙදාළවත්ත, අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල යනාදීන් මැදිහත්කාර පෙත්සම් ගොනු කොට තිබිණි.
පෙරේදා (12දා) උදේ ගොනුකරන ලද මෙම පෙත්සම් එදිනම උදේ අගවිනිසුරු ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ කැඳවන ලදුව පස්වරු 2.00ට එම පෙත්සම් විමසුම ආරම්භ කරනු ලැබීය.


අගවිනිසුරු නලින් පෙරේරා, විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන හා ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පස්වරු 5.30 වනතෙක් පැවැති එකී පෙත්සම් විමසුම නීතිපතිවරයාගේ මතය ප්‍රකාශ කිරීම සඳහා ඊයේ (13දා) පෙරවරුව දක්වා කල් තැබිණි.


ඊයේ පෙරවරුවේ ආරම්භ වූ පෙත්සම් විමසුම පස්වරු 6.30 පමණ වනතෙක් පැවැති අතර දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම්ද නීතිපතිවරයාගේ මතය ඉදිරිපත් කිරීමද නිම වීමෙන් අනතුරුව සිය නිගමනය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය සියලුම පෙත්සම් විභාගයට ගැනීමට අවසරය ලබා දෙමින් දෙසැම්බර් මස 4, 5 හා 6 වැනි දිනයන්හි එම පෙත්සම් විභාගය සඳහා දින නියම කරනු ලැබීය.


ඒ අනුව එකී දිනයන් ආවරණය වන පරිදි ඊට පසුදින වන දෙසැම්බර් මස 7 වැනි දින දක්වා ප්‍රස්තුත ජනාධිපතිවරයාගේ 2018-11-09 දිනැතිව ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම තාවකාලිකව අතිහිටුවමින් තාවකාලික අතුරු නියෝගය නිකුත් කරනු ලැබීය.


පෙත්සම් විභාගයෙන් පසු නොවැම්බර් මස 14 වැනි දිනට පෙර දෙපාර්ශ්වයේ ලිඛිත දේශනා ඉදිරිපත් කිරීමටත්, නොවැම්බර් මස 17 වැනි දින තෙක් ලිඛිත ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමටත් උභය පාර්ශ්වයටම දැනුම් දනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon