රනිල් වික්‍රමසිංහ ගෞරවනීය නායකයකු ලෙස පක්ෂයට නිරන්තරයෙන් උපදෙස් ලබාදිය යුතුයි

  👤  746 readers have read this article !
By mawbima 2018-11-14

මහනුවර - නදීක දයා බණ්ඩාර


එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය සඳහා තරුණ නායකත්වයක් වෙනුවෙන් පූර්ණ කැපවීම සිදුකරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.


ඒ වෙනුවෙන් වසර ගණනාවක සිට පක්ෂයෙන් ඉල්ලීම් කර ඇති බවත් ඒ සඳහා සුදුසු කාලය මේ වන විට එළැඹ ඇතැයි ඊයේ (13දා) මල්වතු පාර්ශ්වයේ මහ නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කීවේය.


එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා ගෞරවනීය නායකයකු ලෙස පක්ෂයට නිරන්තරයෙන් උපදෙස් ලබාදිය යුතු යැයි කී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.


වර්ෂ 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ පිරිහීමට යම් යම් හේතු කාරණා පාදක වුණා. නිදහස ලබා ගැනීමට මූලික වූ අවස්ථාවේ සිට එක්සත් ජාතික පක්ෂය රට වෙනුවෙන් දායක වූ පක්ෂයක් තවත් නැහැ. ජාතියේ පියා, බත් දුන් පියා, නිදහස් අධ්‍යාපනය දුන් පියා, නිවාස ලබාදුන් පියා ආදී වශයෙන් ජනතාවට විශාල සේවයක් සිදු කළ පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පත්වී තිබෙනවා.


වර්ෂ 1993 සිට මේ දක්වා රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයට විශාල සේවයක් සිදු කර තිබෙනවා. නමුත් යම් යම් හේතූන් මත පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් හා පාක්ෂිකයන් විශාල ප්‍රමාණයක් මේ වන විට පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා. මා දැනුවත්වම ප්‍රබල පාක්ෂිකයන් හැටහතර දෙනකු පක්ෂයෙන් ඉවත්වී සිටිනවා.
මම මේ පොදු කරුණ වර්ෂ 2010 සිට දැක්කා.


ඒ නිසා අප අවස්ථා කිහිපයකදීම කිව්වා නායකත්වයේ යම් වෙනසක් සිදුවිය යුතු බව. නායකත්වයේ සිටම මේ පක්ෂයේ යම්කිසි වෙනසක් සිදුවිය යුතුයි. නමුත් යම් යම් කාලවලදී මේක අමතක වෙනවා. යට යනවා, නැවත මතුවෙනවා. පක්ෂයට දීර්ඝ කාලයක් විශාල සේවයක් සිදුකළ, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති අනුව එතුමාගේ උපදෙස් පරිදි නව තරුණ නායකයකු පත් කරගත යුතුයි.


ග්‍රාමීය නායකයන් වශයෙන් අපි ගමට ගිය විට ගම්වැසියන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා සුදුසු යැයි ඉල්ලා සිටිනවා. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිදුකළ සේවය මෙන් විශාල සේවයක් රටට සිදුකරතැයි ජනතාව විශ්වාස කරනවා. පාක්ෂිකයන්ගේ ඉල්ලීම පක්ෂයට දැනුම්දීමට මන්ත්‍රිවරුන් වශයෙන් අපිට යුතුකමක් තිබෙනවා. කණ්ඩායම් රැස්වීම්වලදී අපි ඒ දැනුවත් කිරීම කරනවා. ඒක යුතුකමක් හා වගකීමක්.


රනිල් වික්‍රමසිංහ මහතා මැලේසියාවේ මහතීර් මොහොමඩ්, සිංගප්පූරුවේ නායක ලී ක්වාන් යූ වැනි ගෞරවනීය නායකයකු ලෙස නිරන්තරයෙන් පක්ෂයට උපදෙස් දිය යුතු යැයි හිටපු අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon