කථානායකගේ ලිපිය පිළිගන්න බෑ මා වැඩ කළේ ව්‍යවස්ථාවට අනුකූලවයි - ජනපති කථානායකට දැනුම්දෙයි

  👤  2779 readers have read this article !
By mawbima 2018-11-15

අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඇමැති මණ්ඩලය පත්කර ඇත්තේ ව්‍යවස්ථානුකූලව තමා සතු බලතල අනුව බැවින් එම කටයුතු වෙන කිසිවකුට පවරා නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් කථානායකවරයා තමා වෙත එවා ඇති ලිපියට පිළිතුරු ලිපියකින් ඊයේ රාත්‍රි දැනුම් දුන්නේය.


පාර්ලිමේන්තුවේ ඊයේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියෙහි සඳහන් කරුණු ජනාධිපතිවරයා විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර ඇත.


රාජයේ කටයුතු පාර්ලිමේන්තුව තුළ සිදු කෙරෙන බවත්, ඊට බාධා පැමිණවීම් සිදුවුවහොත් එම බාධාවන්ට විරුද්ධව ක්‍රියා කරන බවත් ජනාධිපතිවරයා සිය ලිපිය මඟින් දැනුම් දී ඇත.


රජය සහ ඇමැති මණ්ඩලයේ කටයුතු කිසිවකුටත් නැවැත්විය නොහැකි යැයිද ජනාධිපතිවරයා සිය ලිපිය මඟින් අවධාරණය කර ඇත.


පාර්ලිමේන්තුවේදී ඊයේ (14දා) කථානායකවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල උල්ලංඝනය කරමින් කටයුතු කළ බවත් ඡන්දය විමසීමේදී ඡන්ද සංඛ්‍යාව පවා ප්‍රකාශයට පත් නොකොට නීති විරෝධී ලෙස කටයුතු කළ බැවින් ඊයේ පාර්ලිමේන්තුව තුළ සිදු වූ කිසිවක් වලංගු භාවයක් නොමැති බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ අස්සනින් ජනාධිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම්දුන් බව සභානායක දිනේෂ් ගුණවර්ධන 'මව්බිම'ට පැවැසීය.


අගමැතිවරයා සහ ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සමඟ අමුණා තිබූ මන්ත්‍රිවරුන්ගේ අස්සන් සහිත කොළ පිළිබඳ විශ්වාසයක් නොමැති බව සඳහන් කළ සභානායකවරයා එම අස්සන් ලේඛනය වෙනස් දෙයකට ලබාගෙන ඇති අස්සන් බවද අවධාරණය කළේය.


මන්ත්‍රිවරුන් අසුන් ගැන්වීමේ ගැටලුවක් නොපවතින බවත් අද පාර්ලිමේන්තුව රැස්වූ පසු ආණ්ඩුවේ කටයුතු සිදු කෙරෙන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


පාර්ලිමේන්තුවේ ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් පවතිද්දී කථානායකවරයා ඒ ගැන සැලකිල්ලක් නොදක්වා කටහ¾ඩින් ඡන්දය ලබාගැනීමට කටයුතු කිරීම සැලැසුම් සහගතව සිදු කළ දෙයක් යැයිද සභානායකවරයා පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon