පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට කථානායක විශාල කළු පැල්ලමක් එක්කළා

  👤  2735 readers have read this article !
By mawbima 2018-11-15

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට විශාලතම කළු පැල්ලම කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (14දා) දින එක්කරන ලද බවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී එම ක්‍රියාව තමා දැඩිලෙස හෙළා දකින බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පයින් ගසා කථානායක මෙලෙස ක්‍රියාකිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන කිසිවකු අනුමත නොකරන බවත් අදාළ න්‍යාය පත්‍රයට කටයුතු නොකර කථානායකවරයා එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන වුවමනා අනුව ක්‍රියා කළ බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.


ආණ්ඩු පක්‍ෂයේ කිසිවකුට අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා නොදී විපක්‍ෂයේ වුවමනාව වෙනුවෙන් කථානායක ක්‍රියා කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි වන ආකාරයෙන් ස්ථාවර නියෝග අත්හිටුවා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කඩිමුඩියේ ඉදිරිපත් කර එය විවාදයකට නොගෙන ඒ සම්බන්ධයෙන් ඒක පාර්ශ්වීය ලෙස කථානායක ක්‍රියාකිරීම හාස්‍යයට කරුණක් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.


අවස්ථා කිහිපයකදීම තමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් අදහස් දැක්වීමට උත්සාහ කළ බවත් ඒ සඳහා කිසිදු අවස්ථාවක් කථානායක විසින් ලබා නොදුන් අතර, ආණ්ඩු පක්‍ෂයේ නියෝජිතයන්ටද අදහස් දැක්වීමට අවස්ථාව ලබානොදී ඒකාධිපති ස්වරූපයකින් කථානායක ක්‍රියා කිරීම කනගාටුවට කරුණක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි. එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට හා සම්ප්‍රදායට පටහැනි බවද අග්‍රාමාත්‍යවරයා කීය.


කථානායක කෙතරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට ක්‍රියා කළද මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාගා දැමීමට කථානායක ඇතුළු රටට එරෙහි කිසිදු පාර්ශ්වයකට ඉඩලබා නොදෙන බවද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon