ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන මන්ත්‍රින්ට කථානායක වැට බඳියි

  👤  2711 readers have read this article !
By mawbima 2018-11-15

පාර්ලිමේන්තුවේ බහුතරය ඊයේ (14දා) පෙන්වා තිබියදීත් එහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කළත් අදත් එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට එළැඹුණහොත් ඊට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පාර්ලිමේන්තුවට සහභාගි වීම කිසියම් කාලසීමාවකට අත්හිටුවීමට කථානායකවරයා පියවර ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහමන් මහතා සඳහන් කරයි.


ඊයේ රාත්‍රි අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළ මන්ත්‍රිවරයා අද රැස්වන පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස විනය සුරැකීමට කථානායකවරයා තීරණයකට එළැඹ ඇතැයිද සඳහන් කළේය.


ශේ‍ර්ෂ්ඨාධිකරණය පෙරේදා දුන් තීන්දුවට පටහැනිව නීතියෙන් තමන්ට ලැබී නැති බලයක් ආරෝපණය කර ගනිමින් පාර්ලිමේන්තුවේ කටයුතු කඩාකප්පල් කිරීමට ඒකාබද්ධ විපක්ෂය ක්‍රියා කළ බවද ඔහු සඳහන් කළේය.


ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ඡන්දය විමසන අවස්ථාවේදී බහුතරය පෙන්වීමට තිබූ අවස්ථාව අහිමි කර ගනිමින් මන්ත්‍රිවරුන් පිරිසක් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන අතර මහින්ද රාජපක්ෂ මහතා ඒ අවස්ථාවේ සටනක් දීම වෙනුවට නිහඬව පිටව යෑම ඔවුන්ට බහුතරයක් නොමැති බව තහවුරු කරන්නක් බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.


කෙසේ වුවද එ.ජා.ප.ය ලැබූ මෙම ජයග්‍රහණය අවසානය දක්වා ගෙන යන බවත් මේ වන විටත් කථානායකවරයා පාර්ලිමේන්තුවේ අද වූ සිදුවීම ජනාධිපතිවරයාට වාර්තා කර ඇති බැවින් ඒ පිළිබඳව ව්‍යවස්ථානුකූලව පියවරක් ගැනීම ජනාධිපතිවරයා සතු වගකීමක් බවත් මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon