පාර්ලිමේන්තුවේ බහුතරය අපිටත් නෑ : රනිල්ටත් නෑ

  👤  2707 readers have read this article !
By mawbima 2018-11-15

ආණ්ඩුවට හෝ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ 113ක බහුතරයක් නැතැයි සම කැබිනට් ප්‍රකාශක නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවැසීය.


ඔහු එම අදහස් පළ කෙළේ ඊයේ (14දා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති එම මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ දයාසිරි ජයසේකර යන මහත්වරු මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට මෙසේ පැවැසූහ.


පාර්ලිමේන්තුවේදී බදාදා (14දා) ඇති වූ දේ පිළිබඳ ආණ්ඩුවේ අදහස කුමක්ද?


මහින්ද සමරසිංහ මහතා
හිටපු අගමැති ඉවත් කර නව අගමැති පත් කිරීම අභියෝගයට ලක් කරල ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගොස් නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පමණයි අතුරු තහනම නිකුත් කරල තියෙන්නෙ. ඒ ගැන තීන්දුව 7 වැනිදා ලබා දීමට නියමිතයි. ජනාධිපතිතුමා ව්‍යවස්ථානුකූලව කටයුතු කරල තිබෙනවා. ඒක පාර්ලිමේන්තුවේදී අභියෝගයට ලක් කරන්න බැහැ. ස්ථාවර නියෝග යටතේ විශ්වාසභංග යෝජනාවක් ගේනවා නම් කටයුතු කළ යුතු ආකාරය සඳහන් කර තිබෙනවා. ඒත් ස්ථාවර නියෝග අනුව කටයුතු නොකර එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයා ස්ථාවර නියෝග අත්හිටුවන්න යෝජනාවක් ගෙනාවා.

ඒත් සමඟම ජවිපෙ අනුර කුමාර දිසානායක විශ්වාසභංග යෝජනාවක් ගැන කතා කරන විට විජිත හේරත් ගිහිල්ල පාර්ලිමේන්තු මහලේකම්ට ලිපියක් භාර දුන්නා. එහෙම විශ්වාසභංග යෝජනාවක් භාර දුන්නා නම් ඒක දවස් 5කදී න්‍යාය පුස්තකයට ඇතුළු වෙන්න ඕන. ඊට පසුව පක්ෂ නායකයෝ ඒක විවාදයට දිනයක් නියම කළාට පසුව න්‍යාය පත්‍රයට ඇතුළු කරනවා. ඒත් ඊයේ (14දා) විශ්වාසභංග යෝජනාවක් තිබුණෙ නැහැ. පාර්ලිමේන්තුව කැඳවීමේ නිවේදනය, දැනුම් දීමේ නිවේදනය, දැනුම් දීම සහ පාර්ලිමේන්තුව කල් තබන යෝජනාව තමයි න්‍යාය පත්‍රයේ තිබුණේ.


ඒත් එම ලිපිය භාර දීමෙන් පසුව විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණා කියලා කථානායකවරයා පසුව නිවේදනය කළා. ඒත් ජනාධිපතිතුමා ව්‍යවස්ථානුකූලව ඉදිරියේදී කටයුතු කරාවි! ව්‍යවස්ථාවට හෝ නීතියට පටහැනිව කටයුතු කරන්නේ නැහැ.


ඒත් මේ තත්ත්වය අරාජික තත්ත්වයක් නොවේද?
දයාසිරි ජයසේකර මහතා


නැවත ආණ්ඩුවක් පත් කරනවාද නැද්ද තීරණය කරන්න ඕන ජනාධිපතිතුමා විසින්. ඒතාක්දුරට වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. විජිත හේරත් විසින් මහ ලේකම්ට භාරදුන් ලිපියේ තිබුණේ මොනවාද කියලා කථානායකතුමා දන්නෙ නැහැ. ඒකෙ තිබුණේ මොකක්ද කියලවත් නොදැන කථානායකතුමා කොහෙද ඡන්ද විමසුවා කියන්නෙ?
අනෙක ඡන්ද ඇඟිලි සලකුණු මඟින් නොගෙන නමින් නොගෙන කොහොමද කථානායකතුමා නිවේදනය කරන්නෙ පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලැබුණා කියලා.


ඊළඟ කාරණය තමයි පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ගේන්න ඕන සභානායක විසින්. ඒත් ඒක කළේ ලක්ෂ්මන් කිරිඇල්ල. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් කොහොමද මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය වළලන්නෙ?
වාරාවසාන කළ පාර්ලිමේන්තුව යළි ඇරැඹීමට ඇයි ජනාධිපතිවරයා නොපැමිණුනේ?
මහින්ද සමරසිංහ මහතා


ජනාධිපතුතිමා එන්න ඕනමය කියල කොහේවත් සඳහන් කරල නෑ. ඒත් ඒ නිවේදනය මහලේකම්වරයා කියවල තමයි පාර්ලිමේන්තුව පටන්ගත යුත්තේ.
අද පාර්ලිමේන්තුව කැඳවීම නීත්‍යනුකූලද?


දයාසිරි ජයසේකර මහතා
කථානායකතුමාට ඒ ගැන නීතිපතිගේ අදහස අරගෙන කටයුතු කළ යුතුව තිබුණා. ඒත් එහෙම වුණේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක ඒකට තහනම් නියෝගයක් දුන් පළියට පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි බවටත් ඇතැම් නිතිවේදීන් අදහස් පළ කරනවා.
පාර්ලිමේන්තුවේ 113ක් තිබෙන බව ඔබලා මීට පෙර ප්‍රකාශ කළා කෝ දැන්?


දයාසිරි ජයසේකර මහතා
ආණ්ඩුවටත් 113ක් නැහැ. රනිල් වික්‍රමසිංහටත් 113ක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එහාට මෙහාට ගියා. ඔවුන් සල්ලිවලට ගියාද නොගියාද කියලා මිනිසුන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ තත්ත්වයන් නිසා තමයි පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ. ඒ නිසා කථානායකතුමාගේ තීන්දුවත් අරගෙන ජනාධිපතිතුමා රට අස්ථාවර නොවන ක්‍රියාමාර්ගයක් ගන්නවා.


බහුතරයක් නැත්නම් ආණ්ඩුව කරන්න අයිතියක් තිබේද?
2015 ආණ්ඩුවට හිටියේ 41යි.
ඒත් ඒ වෙලාවෙ මෙවැනි විරෝධතා ආවෙ නැහැ? මහින්ද සමරසිංහ මහතා
113 නැතිව ආණ්ඩු පිහිටුවන්න පුළුවන්. පනතක් සම්මත වෙන්නෙ ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටින බහුතරයකින් පමණයි.
113 නැතිව කොහොමද ඉදිරියේදී කටයුතු කරන්නෙ?


දයාසිරි ජයසේකර මහතා
ඒ ක්‍රියාමාර්ගය තමයි ජනාධිපතිතුමා ගන්නෙ. එජාපයේ කාටවත් පක්ෂව 113ක් ඉන්නව කියලා මේ වන විටත් කවුරුවත් අස්සන් කරල නැහැ. ඔය අස්සන් කරල තියෙන්නෙ රනිල් වික්‍රමසිංහට සහාය පළ කරල නෙවෙයි.
පක්ෂ නායක රැස්වීමේදී මොකක්ද ගත් තීරණය?


ජනාධිපතිතුමාගෙ පාර්ලිමේන්තුව කැඳවීමේ නිවේදනය ගැනත්, පාර්ලිමේන්තුවේ කටයුතු අවසාන කිරීමේ තීරණයත් පමණයි. වෙනත් කිසිම තීරණයක් ගත්තෙ නැහැ.
දයාසිරි ජයසේකර මහතා


එජාපය මේ විධියට හැසිරුණේ ජනාධිපතිතුමා ආයෙත් වාරාවසාන කරාවි කියල හිතලයි. ඒත් එහෙම දෙයක් ජනාධිපතිතුමා හිතුවෙත් නැහැ. ඒත් එජාපය එහෙම හිතල පාර්ලිමේන්තුව කැලෑ නීතියක් බවට පත් කරගත්තා. පාර්ලිමේන්තු ක්‍රියාදාමය නීත්‍යනුකූලව සිදු වුණා කියලා මම හිතන්නෙ නැහැ.
තානාපතිවරුන් පවා අද (14දා) පාර්ලිමේන්තුවේදී සිදු වූ දේ දැක ගත්තා. සභානායක විදියට පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන්න දිනේෂ් ගුණවර්ධනට අවස්ථාව නොදී ස්ථාවර නියෝග අවලංගු කරන්න සුමන්තිරන්ට කල් දුන්නා. එහෙම තමයි ඔවුන් කටයුතු කළේ.


බ්‍රහස්පතින්දා (15දා) පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි වෙනවාද?
මහින්ද සමරසිංහ මහතා


තවම පක්ෂ නායක රැස්වීමක් කැඳවල නැහැ. අපි දන්නෙ නැහැ න්‍යාය පත්‍රය මොකක්ද කියලා. කථානායකතුමා කරන්න හදන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැහැ. රැස්වීමට අපි සහභාගි වෙනවා.


බහුතරයක් නැත්නම් කොහොමද ආණ්ඩුව ගෙනියන්නෙ?


සමහර අවස්ථාවල මුදල් පනත් පවා එදින සහභාගි වූ අයගේ බහුතරයෙන් සම්මත වෙනවා. ව්‍යවස්ථාවේ 150 වගන්තිය අනුව ජනාධිපතිතුමාට පුළුවන් ඒකාබද්ධ අරමුදලෙන් මාස 3ක් දක්වා මුදල් යොදවන්න.
දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon