‘දිදුලන හදවත’ සංවිධානයේ මාධ්‍ය හමුව භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න

  👤  2643 readers have read this article !
By mawbima 2018-11-15

භාරකාර ආණ්ඩුවක් වහා පිහිටුවා, නිශ්චිත කාලයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ස්ථාපිත කොට සියලු පුරවැසි අයිතීන් තහවුරු කරන ලෙස මාධ්‍යවේදී විමල් කැටපෙආරච්චි අවධාරණය කළේය.


තම සංවිධානය කිසිදු පක්ෂයකට කඩේ නොයන පුරවැසි සංවිධානයක් බවත්, දේශපාලකයන්ගේ න්‍යාය පත්‍රවලට යට නොවී තම සංවිධානයේ පොදු න්‍යාය පත්‍රවලට දේශපාලකයන් යටත් කර ගැනීම එහි අරමුණ බවත් ඔහු පෙන්වා දුන්නේය.


"එක අරමුණක් - එක පෙරමුණක්" මැයෙන් දිදුලන හදවත සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (14දා) සමාජීය හා සාමයික කේන්ද්‍රයේදී ඔහු මේ බව සඳහන් කළේය.


වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් කැටපෙආරච්චි,


ගම්වල මළ ගෙවල් වුණාම බූරු ගහනවා. අපිට පේනවා පසුගිය ඔක්තේබර් 26 වැනිදා හවස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බූරුවා ගහන්න පටන් ගත්තා. හැබැයි ඒ බූරු ගැහිල්ල පටන් ගත්තේ මළ ගෙයක් නැතුව. හැබැයි බූරු ගහන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලා මළගේ පටන් ගත්තා. ඒ තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම.


ලක්ෂ 62ක් ඡන්දය දීලා ජනාධිපති කෙනෙක් පත්කර ගත්තා. 62 වගේම 58ත් පාවා දුන්නා. 58ක් ගත්ත මහ රජ්ජුරුවෝ කෙළින්ම ජෝකර් කෙනෙක් වුණා. මහින්ද රාජපක්ෂ බල ලෝභය අත් ඇරගන්න බැරුව කුරුණෑගල මන්ත්‍රි වෙලා, මල්ලි රජවෙයි කියලා බය වෙලා පුතාට අවස්ථාව ගන්න මේ බූරු සෙල්ලමේ එයා ජෝකර් කෙනෙක් බවට පත් වුණා.


අපි යෝජනා කරනවා මේ බූරු සෙල්ලම නවත්වන්න ඕනි. භාරකාර ආණ්ඩුවක් හදන්න. ඉස්සෙල්ලා පොළොව හදන්න, පොළොව හොඳට හදන්නේ නැතිව සරු බීජයක් පොළොවේ පැළ කරන්න බැහැ.


ඊට පස්සේ අවශ්‍ය නම් ඡන්දය ඉල්ලා තම තමන්ගේ න්‍යාය පත්‍රවලට ඇවිල්ලා කටයුතු කරන්න. ජනතාවට හැකියාව තියෙනවා එතකොට හොඳ පැළ ටිකක් හිටවාගන්න.
ගීත රචක රවී සිරිවර්ධන,


මෙතෙක් සමාජයක් විදියට අපි ලබාගත්ත අවම ජයග්‍රහණ පවා ආපස්සට හරවන නරක දේශපාලන වටපිටාවක තමයි අපි ඉන්නේ. අපි විශ්වාස කරනවා සමාජයක් විදියට අපිව ඉතා දරුණු ෆැසිස්ට්වාදයකට තල්ලු කරමින් යනවා රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට. පුරවැසියන් විදියට අපිට තවදුරටත් මේ තියෙන අනතුර දිහා බලාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ. ජනතාවගේ ආගම, සංස්කෘතිය වගේ ඉතා සංවේදී තැන් කොල්ලකමින් තමයි මේ නායකයන් මේ බරපතළ ෆැසිස්ට්වාදී යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ. අතිශය අශිෂ්ට දේශපාලන රංගනයක් තමයි අපිට පසුගිය දිනවල පෙනෙන්නට තිබුණේ.


අද පාර්ලිමේන්තුවේ කුමන දෙයක් සිදුවුණත් අපිට එයින් සතුටු වී නිහඬ වීමට පුළුවන්කමක් නැහැ. මේ මොහොතේ ලංකාවේ ඇතැම් මාධ්‍ය මේ දේශපාලන ගේම් එක ආරක්ෂා කරන ඉතාම නරක තැනකට යමින් ඉන්නවා.


ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි,


ධර්මසේන පතිරාජ කළා "සොල්දාදු උන්නැහේ" කියලා චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ චරිත හතරක් තිබුණා. සොල්දාදු උන්නැහේ ඔළුව අවුල් වුණු පුද්ගලයකුගේ චරිතයක්. තව චරිතයක් තමයි පේමා අක්කා, ඇය ගණිකාවක්. විනී මහත්තයා බේබදුකම නිසා රැකියාව අහිමි වුණු කෙනෙක්. තවත් චරිතයක් තිබුණා. ඔහු නන්නත්තාරවාදියෙක්. එක මොහොතක මේ චරිත පරමාධිපත්‍ය ගැන සාකච්ඡාවක් කළා. විනී මහත්තයා කියනවා පරමාධිපත්‍ය කියන්නේ ආයුධ සහ ආයුධ පාවිච්චි කරන අය අතර තිබෙන දෙයක් කියලා.

සොල්දාදු උන්නැහේට මේක තේරෙන්නේ නැහැ. ඔහු මේක හිත හිතා පේම අක්කාගෙන් අහනවා පේමා අක්කේ, උඹ දන්නවාද පරමාධිපත්‍ය කියන්නේ මොකක්ද කියලා. ඇය කියන්නේ ඒක කුණුහබ්බයක් කියලා. ඒ වෙලාවේ සොල්දාදු උන්නැහේ කේන්ති ගිහිල්ලා පේමා අක්කාට ගහන්න


එළවනවා. පේමා අක්කා කියනවා ගහපන්්, මාව මරපන් කියලා කිව්වාට පස්සේ මේ මානසිකව අප්සට් වෙලා කියලා අපි හිතන සොල්දාදු උන්නැහේ කියනවා පරමාධිපත්‍යයට විතරක් හිනාවෙන්න එපා කියලා. මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහට අපි කියන්නේ පරමාධිපත්‍යයට හිනාවෙන්න එපා කියලයි.
ලේඛක නාට්‍යවේදී අසංක සායක්කාර,


මේ දේශපාලනඥයන් කරන ගොන්පාට් ඇයි අපිට නතර කරන්න බැරි වුණේ කියලා අපි දුක් වෙනවා. පුරවැසියන් විදියට අපි අසමත් වෙලා තියෙනවා අපි යවපු මිනිසුන්ව පාලනය කරන්න. පුරවැසියා හිතන්නේ ඔහුට පුළුවන් ඡන්දය දෙන්න විතරයි කියලා. මේ දේශපාලනය ගැන 'අ' යන්නේ සිට පුරවැසියාට කියා දිය යුතුයි.
මාධ්‍යවේදී නීතිඥ විරංජන හේරත්,


මීට කලින් ජනාධිපතිවරයාට අවුරුදු 5ද 6ද කියන ප්‍රශ්නය ආපු වෙලාවේ නීත්‍යනුකූල විදියට ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගියා. ඇයි මේ වෙලාවේ ඒක කරන්න බැරි වූයේ කියලා අපි අහනවා.


මාධ්‍යවේදී කත්‍යානා අමරසිංහ,
කාන්තාවන් මේ අවස්ථාව ගැන සවිඥානික වෙන්න ඕනි. මෙය ඔබේ දූ දරුවන්ගේ අනාගතය
ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර,


මේ මොහොත තීරණාත්මකයි. මේක දේශපාලන කණ්ඩායම් දෙකක් අතර තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. අශීලචාරකම සහ ශීලාචාරකම අතර අරගලයක්. ශිෂ්ට බව සහ අශිෂ්ට බව අතර අරගලයක්. වහල්භාවය සහ නිදහස අතර අරගලයක්.


මාධ්‍යවේදී ප්‍රියන්ත කොඩිප්පිලි,
අපේ මේ සංවිධානය දේශපාලන පක්ෂයක් කිච කරන්න හෝ, නව දේශපාලන ක¼දවුරකට චූන් එකක් දෙන්න හදන පුරවැසි සංවිධානයක් නොවන බව අපි සහතික වෙනවා.
උදයන්ති මුණසිංහ
ඡායාරූප - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon