ක්‍රීඩා ඇමැති කියපු දේමයි මමත් කිව්වෙ - රංජිත් රොද්‍රිගු

  👤  2554 readers have read this article !
By mawbima 2018-11-15

ආසියානු පාපන්දු සම්මේලනය මෑතකදී ගෙන ආ නව ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවද වෙනත් සාමාජික රටවල විරෝධතාව මධ්‍යයේ සිදුකරන ලද එම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකාව සහාය ලබාදීම නීති විරෝධී බව පෙන්වා දුන් හිටපු පාපන්දු සභාපති රංජිත් රොද්‍රිගු මහතාට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන විධායක සභිකයන් පිරිසක් විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.


මේ පිළිබඳ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලයේ සභාපති අනුර ද සිල්වා මහතාගෙන් "මව්බිම" කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙවැන්නකි "විධායක සභාවෙන් විරෝධතාවක් ඇතිවුණා පාපන්දු ආචාරධර්ම උල්ලංඝනය වෙලා තියෙනවා කියලා. ඒ අනුව අපි ලෝක පාපන්දු සම්මේලනයත් ආසියානු පාපන්දු සම්මේලනයත් මේ පිළිබඳ දැනුවත් කළා. ඉදිරි පියවර මොකක්ද කියලා ඔවුන් අපිව දැනුවත් කරාවි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වශයෙන් අපි තාමත් මේ සම්බන්ධයෙන් වෙනත් පියවරක් ගත්තේ නැහැ. අපි තවම මේ ගැන අධ්‍යයනය කරනවා. අපිට මේ ගැන නිවැරදි උපදෙසක් ලැබුණොත් පියවරක් ගැනීමට බලාපොරොත්තු වෙනවා"


ආසියානු පාපන්දු සම්මේලනය කළ ව්‍යවස්ථා සංශෝධනයේදී ශ්‍රී ලංකා පාපන්දු බලධාරීන් ක්‍රියා කර ඇත්තේ රට ගැන අමතක කොට බව හිටපු පාපන්දු සභාපති රංජිත් රොද්‍රිගු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය උද්ගත විය. ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී රට මුල් තැනලා සැලකීමත් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට නොපැකිළව ක්‍රියා කළ යුතු බවත් සහ පුද්ගල හිතුමනාපයට වඩා රටේ සාමූහික තීන්දුවක් ලෙස කටයුතු කළ යුතුව තිබූ බවත් රොද්‍රිගු මහතා කරුණු දක්වා තිබිණි.


ආසියානු පාපන්දු සම්මේලනය හා ලෝක පාපන්දු සම්මේලනය තහනමක් පැනවීමට සූදානම් වුවහොත් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න රංජිත් රොද්‍රිගු මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ පසුගිය කාලය තුළ තමන් පාපන්දු නඩු 18කට මුහුණ දුන් බවත් මෙවැනි අභියෝගවලට කිසිදු බියක් ඇතිකර ගැනීමට හේතුවක් නොමැති බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මහතා "මම පැනලා දුවන්නේ නෑ. තහනමක් පැනවුවහොත් යා හැකි ඉහළම තැනට පැමිණිලි කරනවා. මා කළේ මගේ රට ගැන ප්‍රකාශයක් පමණයි. කිසිම දවසක පාපන්දු ක්‍රීඩාවට හානියක් කරන්න හීනෙකින්වත් හිතන්නෙ නෑ. රටේ පුරවැසියන්ට කතා කිරීමේ නිදහස තිබෙන බව පාපන්දු විධායක සභිකයන් දැනගත යුතුයි. නැවත මම සභාපති පුටුවට එයි කියලා ඇතැම් අය බයවෙලා. ඒ නිසායි මේ කලබලේ" යනුවෙන් පැවසීය.


පාපන්දු ක්‍රීඩාවට පෞද්ගලික මුදල් කෝටි ගණනක් වැය කළ තමන් ක්‍රීඩාවට අසීමිතව ආදරය කරන පුද්ගලයෙක් බවද එහිදී ඔහු සඳහන් කළේය. "මා හිටපු සභාපතිවරයෙක්, ජාත්‍යන්තර හා ආසියානු පාපන්දු සම්මේලන කමිටු සාමාජිකයෙක්. දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ ජේ‍යෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළා. අවුරුදු 23ක් නිගම්බු යූත් ක්‍රීඩා සමාජයේ සභාපති. මීගමුවේ පාපන්දු සභාපති. මා පාපන්දු නීති රීති, ආචාරධර්ම ගැන හොඳින් දන්නවා. මට තහනමක් දෙන්න කලින් ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයාටයි විරුද්ධ වුණු රටවල් හතරයි තහනම් කළ යුතුයි" යනුවෙන් රංජිත් මහතා පැවසීය.


ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන අයකු වුවත් වෙනත් රටක යෝජනාවකින් ආසියානු පාපන්දු සම්මේලනයට පත්වී ශ්‍රී ලංකාවට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාව මෙම මතභේදාත්මක සංශෝධනය තුළින් විවෘත වන නිසා මේ සඳහා ශ්‍රී ලංකාව සහයෝගය දැක්වීම සුදුසු නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය මින් පෙර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වූ අතර අනතුරුව රොද්‍රිගු මහතාද මාධ්‍යට ප්‍රකාශයක් කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon