සෙලාන් බැංකුවේ චලිත රංජන හත්වැනි වරටත් කේවල ශූරතාව දිනාගනී

  👤  2543 readers have read this article !
By mawbima 2018-11-15

වෙළෙඳ සේවා මේසපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද 61 වැනි අන්තර් ක්‍රීඩා සමාජ ලීග් මේසපන්දු ශූරතා තරගාවලියේ පිරිමි සහ කාන්තා 'ඒ' කාණ්ඩයේ ශූරතා දිනාගැනීමට මාස් 'ඒ' කණ්ඩායම සමත් වීම කැපී පෙනිණි. තවද 'ඒ' කාණ්ඩයේ පිරිමි අංශයේ අනුශූරතාව කොමර්ෂල් බැංකු කණ්ඩායමටත් සෙලාන් බැංකු කණ්ඩායමට කාන්තා 'ඒ' කාණ්ඩයේ අනුශූරතාවද හිමි විය.

තවද සෙලාන් බැංකුවේ චලිත රංජන හත්වැනි වරටත් පිරිමි කේවල රන් පදක්කම දිනා ගැනීමට සමත් වීම කැපී පෙනුණු අතර එහි රිදී පදක්කම මාස් ආයතනයේ නිර්මල ජයසිංහ විසින්ද ලෝකඩ පදක්කම් ෆොන්ටෙරා ආයතනයේ සමිත අබේරත්න විසින් සහ මාස් ආයතනයේ සුඛිත වික්‍රමනායක විසින් දිනා ගන්නා ලදී.
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේදී පිරිමි අංශයෙන් කාණ්ඩ 6ක් යටතේ සහ කාන්තා අංශයෙන් කාණ්ඩ තුනක් යටතේ තරග පැවැත්වුණු අතර ඒ සඳහා ආයතන 36ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 249 දෙනකු සහභාගි වීම කැපී පෙනිණි.


ඒ අනුව පිරිමි 'බී' කාණ්ඩයේ ශූරතාව මාස් ආයතන 'බී' කණ්ඩායමටත් අනුශූරතාව ඇස්ටර්න් 'ඒ' කණ්ඩායමටත් හිමි විය. කාන්තා අංශයේ 'බී' කාණ්ඩයේ අවසන් තරගයේදී එච්.එස්.බී.සී. කණ්ඩායම පරාජය කළ මාස් 'බී' කණ්ඩායමට එහි ශූරතාව හිමි විය. සී.ඩී.බී. ෆිනෑන්ස් කණ්ඩායම සහ මාස් 'සී' කණ්ඩායම් 'සී' කාණ්ඩයේ පිරිමි අංශයේ සම ශූරතාවන් දිනා ගත් අතර කාන්තා 'සී' කාණ්ඩ ශූරතාව සහ අනුශූරතාව පිළිවෙළින් කලාප අංක 24 ඔ 7 කණ්ඩායම සහ ඉන්ටර්වෙස්ට් සොෆ්ට්වෙයාර් ටෙක්නොලජීස් කණ්ඩායම හිමි කර ගත්තේය.


පිරිමි අංශයේ 'ඩී' කාණ්ඩ ශූරතාව දිනා ගැනීමට කොඩිජන් ඉන්ටර්නැෂනල් කණ්ඩායම සමත් වූ අතර පෑන් ඒෂියා බැංකු කණ්ඩායමට 'ඊ' කාණ්ඩයේ ශූරතාව හිමි විය. ලාෆ් කණ්ඩායමට 'එෆ්' කාණ්ඩයේ ශූරතාව හිමි වෙද්දී ඇස්ටර්න් 'සී' කණ්ඩායමට එහි අනුශූරතාව හිමි විය.


මේ අතර මාස් ආයතනය වෙළෙඳ සේවා මේසපන්දු කණ්ඩායම් ශේ‍ර්ණිගත කිරීම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වී ඇති අතර දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙළින් සෙලාන් බැංකුව සහ සයිකොලැබ්ස් ආයතන හිමිකරගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon