හිටපු අගමැති රනිල්ගේ අනුදැනුම ඇතිව වංචා කිරීමට උත්සාහ ගත්තා - ඩිව් ගුණසේකර

  👤  1271 readers have read this article !
By mawbima 2018-11-15

උදයන්ති මුණසිංහ

සේවක අර්ථසාධක අරමුදල් සහ රාජ්‍ය බැංකුවල මුදල් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම සහ නායකත්වය ඇතුව පසුගිය කාලයේ ගසා කෑමට උත්සාහ ගත් බවත් යහපාලන ආණ්ඩුවේ වැටීමට හේතු වුණු පළමු කාරණාව එය බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර පැවැසුවේය.

එම්.ජී. මෙන්ඩිස්, එල්.ඩබ්ලිව්. පණ්ඩිත වැනි කම්කරු නායකයන් අරගල කොට දිනාගත් සේවක අර්ථසාධක අරමුදල අද වනවිට දකුණු ආසියාවේ ඇති විශාලතම අරමුදල බවත් මේ රටේ සිටින ප්‍රාග්ධන මුදලාලිලා විසින් ආණ්ඩුවට පොලියට මුදල් දීම සඳහා මේ මුදල් භාවිත කළ බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම යහපාලන ආණ්ඩුවේ අර්බුදයට නව ලිබරල්වාදය හේතු වූ බව පෙන්වා දුන් ඔහු තවදුරටත් කියා සිටියේ මහ බැංකු අධිපති ලෙස අර්ජුන මහේන්ද්‍රන්ව පත් කළේ නව ලිබරල්වාදය ක්‍රියාත්මක කිරීමට බවයි.

නමුත් සිවු වතාවක් අගමැති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ සෑම අවස්ථාවකදීම මූල්‍ය ක්ෂේත්‍රය ලිබරල්කරණය කිරීමට උත්සාහ ගත්තද එය අසාර්ථක වූ බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙවැනි කාරණා වත්මන් දේශපාලන අර්බුදයට සහ යහපාලනයේ අර්බුදයට හේතු වූ අතර එය මේ වනවිට කෙළවර වී ඇත්තේ ශේ‍ර්ෂ්ඨාධිකරණය දක්වා පැමිණීමෙන් බවත් කියා සිටි ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තර්ක විතර්ක කරනවා හැරෙන්නට මේ තත්ත්වය පිළිබඳව කිසිවෙක් කතා නොකරන බවයි.

එම්.ජී. - පණ්ඩිත ගුණ සමරුවට එක්වෙමින් පෙරේදා (13දා) මහවැලි කේන්ද්‍රයේදී ඔහු මේ බව සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon